තවදුරටත් පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ඇති විය හැකි බලපෑම් සහ වැවිලි ප්‍රජාවට සිදුවිය හැකි ආර්ථික හා සමාජීය අර්බුද පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (12) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මැදපෙරදිග කලාපය යනු ශ්‍රී ලංකා තේ සඳහා වන ප්‍රධානතම අපනයන වෙළඳපොළක් වන බැවින්, එහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් තේ අපනයන වෙළඳ කටයුතු, ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය ආදායමට එල්ල වන බාධා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම, මෙමගින් තේ අපනයනකරුවන්ට සහ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු ද අවධානයට ලක් විය.
මීට අමතරව, තේ කර්මාන්තය ජීවනෝපාය කරගත් වැවිලි ප්‍රජාවගේ ආදායම් මාර්ග, ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ දෛනික ජීවන මට්ටමට මෙම ගෝලීය දේශපාලන අර්බුදය සෘජුවම බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ද අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වූ අතර, ඊට ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී උපදෙස් හුවමාරු කරගෙන තිබේ.
















