සුප්රසිද්ධ ‘ස්ටාර් වෝර්ස්’ (Star Wars: The Empire Strikes Back) චිත්රපටයේ එන C-3PO රොබෝවරයාගේ රන්වන් පැහැති හිස, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 1.05කට (රුපියල් කෝටි 31කට අධික) අලෙවි වී තිබේ. මෙය තිරගත වූ චිත්රපටයක භාවිතා කළ මෙවැනි දුර්ලභ භාණ්ඩයක් ඩොලර් මිලියනය ඉක්මවා අලෙවි වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
ප්රොප්ස්ටෝර් (Propstore) ආයතනය විසින් මෙහෙයවන ලද මෙම වෙන්දේසියේදී තවත් ජනප්රිය චිත්රපට රැසක සමරු භාණ්ඩ ඉහළ මිල ගණන්වලට අලෙවි විය. ඒ අතරින් ‘ජෝස්’ (Jaws) චිත්රපටයේ මෝරුන් දඩයම් කිරීම සඳහා භාවිතා කළ හර්පූන් තුවක්කුව (Harpoon gun) ඩොලර් 327,600කට ද, ‘කාස්ට් එවේ’ (Cast Away) චිත්රපටයේ ටොම් හෑන්ක්ස් සමඟ සිටි ‘විල්සන්’ වොලිබෝලය ඩොලර් 189,000කට ද අලෙවි වී තිබේ.
මීට අමතරව ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ (The Lord of the Rings) චිත්රපටයේ කඩුවක කොටස් ඩොලර් 252,000කට සහ හැරී පොටර් චිත්රපට මාලාවේ ‘මොරෝඩර්ස් මැප්’ (Marauder’s Map) සිතියම ඩොලර් 59,850කට අලෙවි විය. පසුගිය වසරේදී ඩාර්ත් වේඩර්ගේ ආලෝක කඩුව (Lightsaber) ඩොලර් මිලියන 3.6ක වාර්තාගත මිලකට අලෙවි වීමෙන් පසු, ස්ටාර් වෝර්ස් රසිකයන් අතර වැඩිම ඉල්ලුමක් ලැබුණු අයිතමය බවට මෙම C-3PO හිස පත්ව ඇත.














