8 September 2024
#දේශීය

රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්

රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සියළුම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති සාකච්ඡාවකදිය.

එහිදී විශ්වවිද්‍යාල සම්බන්ධ සියළු පත්කිරීම් විශ්වවිද්‍යාල තුළින් සිදුවිය යුතු බවත් එමෙන්ම විදෙස් සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථා සළසා දීමෙන් නොනැවතී ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ජාත්‍යන්තරීකරණය විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

එම කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ සහභාගී වූ උපකුලපතිවරුන් සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ගුණාත්මක භාවය ඉහළ දැමීම ඉහත කාරණා කඩිනමින් සිදු කළ යුතු බවයි.

එමෙන්ම මේ දිනවල විශේෂ අවධානයක් යොමු වී පවතින විශ්වවිද්‍යාල කිහිපයකට පසුගිය දිනවල වාර්තා වූ නවකවදය සම්බන්ධ සිදුවීම්වලට අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව ප්‍රගතිය විමර්ශනය කිරීම අමාත්‍යවරයා සිදු කරන ලදී.

එහිදී මානව හිමිකම් කඩකරමින් විශ්වවිද්‍යාල වැනි ආයතන සමාජයට පරමාදර්ශයක් ලබාදිය යුතු වුවත්, ආයතන අභ්‍යන්තරේම මෙලෙස මානව හිමිකම් කඩවීම කණගාටුදායක තත්වයක් බවත්, එමගින් ජන සමාජයට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ජනගතවන බවත්, එය වැලැක්වීමට නම් මෙම අමානුෂික ක්‍රියාකලාපයන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත්, එම ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් කළ යුතු වැඩපිළිවල සම්බන්ධයෙන් සියළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම ඕනෑම විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සිට උපාධිය ලබා ගන්නා කාලපරිච්ඡේදයේදී විශ්වවිද්‍යාල තුළ උපරිම නිදහස හා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිත කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් එතුමන් පසුබට නොවන බවද, විශ්වවිද්‍යාලයට සෑම අධ්‍යන වර්ෂයකදී ප්‍රවේශ වන විද්‍යාර්ථයින්ට අධ්‍යාපනය ලබා තමන්ට අවශ්‍ය පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපරිම පහසුකම් සළසාදෙන බවත්, එකී පහසුකම් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම සමාන ආකාරයෙන් භුක්තිවිදීමට ඉඩ අවකාශ සළසා දීම තමාගේ අරමුණු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *