විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘තම්මිට අවිශ්ක’ සහ ‘අශේන්’ (ඩුම්) යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කළ කාන්තාවක ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරු වන ‘කෙහෙල්බද්දර පත්මේ’ නමැත්තාගේ පාර්ශවයේ සාමාජිකයින් බව අනාවරණය වී ඇත. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (29) ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.
කොටුගොඩ සහ බොල්ලත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 25 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සහ ඒ සඳහා අනුබල දීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.














