බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී කාලයේ නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් දියතලාව, වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (25) උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මාතර සහ බණ්ඩාරවෙල අතර ධාවනය වන බස් රථයකි.
මාතර සිට පැමිණි මෙම බස් රථය සුපුරුදු පරිදි බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ අතර, අද අලුයම 6.45 ට මාතර බලා ගමන් ආරම්භ කිරීම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදී බස් රථය අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසි කිරීම්වලදී දියතලාව ප්‍රදේශයේ දමා ගොස් තිබූ බස් රථය සොයා ගැනීමට හැකි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














