ලොව පස්වතාවක් සුනඛ රළ මෙන්ඩික (Dog Surfing) ලෝක ශූරතාව දිනාගත් සහ හන්ටිංටන් වෙරළේ (Huntington Beach) සංකේතයක් බඳු වූ ‘ෂුගර්’ (Sugar) නමැති සුනඛයා පිළිකා රෝගය සමඟ කළ සටනකින් පසු මියගොස් තිබේ. මිය යන විට ෂුගර්ගේ වයස අවුරුදු 16කි.
ෂුගර්ගේ හිමිකරු වන රයන් රස්ටන් (Ryan Rustan) පවසන්නේ පසුගිය සඳුදා අලුයම ෂුගර් සිය දෑතේම අවසන් හුස්ම හෙළූ බවයි. මිය යාමට සති කිහිපයකට පෙර ද ෂුගර් සිය අවසන් රළ මෙන්ඩික අත්දැකීම ලබාගත් අතර, එය මෙම ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමට ඇය දැක්වූ දායකත්වයට උපහාරයක් බඳු විය.
රයන් රස්ටන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සංවේදී සටහනක දැක්වෙන්නේ, “ඇය ඔබ සැමට බෙහෙවින් ආදරය කළා. ඇය ජීවත් වුණේ මිනිසුන්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට සහ සුනඛ රළ මෙන්ඩික ක්‍රීඩාව සදහටම වෙනස් කිරීමටයි” යනුවෙනි. ෂුගර්ගේ අභාවයත් සමඟ ලොව පුරා සිටින ඇයගේ රසිකයින් සිය ශෝකය පළ කරමින් සිටිති.














