ඇමරිකා එක්සත් ජනපදය තුළ උපත ලබන දරුවන්ට ඉබේම හිමිවන පුරවැසිභාවය (Birthright Citizenship) සීමා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි සැකයක් මතු කර තිබේ. පසුගිය බදාදා පැවති නඩු විභාගයේදී විනිසුරුවන් බහුතරයකගේ අදහස වූයේ වසර සියයකට අධික කාලයක් පැවති මෙම නීතිමය සම්ප්‍රදාය වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී විය හැකි බවයි. ජනාධිපති ට්‍රම්ප් ද මෙම නඩු විභාගය නැරඹීමට පෞද්ගලිකවම අධිකරණයට පැමිණ සිටීම විශේෂත්වයක් වූ අතර එය විධායකය විසින් අධිකරණයට බලපෑම් කිරීමක් ලෙස විචාරකයෝ හඳුන්වති.
ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයට අනුව ඇමරිකානු භූමිය තුළ උපත ලබන ඕනෑම අයෙකුට පුරවැසිභාවය හිමි වේ. නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ දරුවන්ට මෙම අයිතිය අහිමි කළ යුතු බව ට්‍රම්ප් පාලනාධිකාරියේ තර්කය වුවද, 1898 වසරේ ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් (Wong Kim Ark) මඟින් මෙම අයිතිය තහවුරු කර ඇති බව විනිසුරුවරු පෙන්වා දුන්හ. උපතින් පුරවැසිභාවය ලබා දෙන ලොව එකම රට ඇමරිකාව බවට ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා කළ ප්‍රකාශය ද අසත්‍යයක් බවත්, ලොව තවත් රටවල් රැසක මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවත් නීති විශාරදයෝ පවසති.
මෙම නඩුවෙන් ට්‍රම්ප් පාලනය පරාජයට පත් වුවහොත් එය ඔහුගේ සංක්‍රමණික මර්දන ප්‍රතිපත්තියට මෙන්ම විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට එල්ල වන දැඩි පහරක් වනු ඇත. මීට පෙර පනවන ලද ගෝලීය තීරුබදු ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලද අතර, මෙම තීරණාත්මක නඩු තීන්දුව එළඹෙන ජුනි මාසයේදී නිකුත් කිරීමට නියමිතය. ලෝකය පුරා සිටින සංක්‍රමණික ජනතාව මෙන්ම ඇමරිකානු පුරවැසියන් ද මෙම තීන්දුව දෙස දැඩි අවධානයෙන් බලා සිටිති.















