2022 වසරේදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ඓතිහාසික නඩු තීන්දුවට අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක් (කෝටි 7.5ක්) රජයට වන්දි වශයෙන් ගෙවිය යුතුය. ආර්ථික අර්බුදය මුවාවෙන් “සේවොරිට් ෆාමසූටිකල්” නමැති සමාගමෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ගනුදෙනුව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව අධිකරණය අවධාරණය කළේය.
මෙම දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වූ සෙසු උසස් නිලධාරීන්ට ද අධිකරණය දැඩි දඬුවම් නියම කර ඇත. ඒ අනුව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන යන සිව්දෙනාට රුපියල් මිලියන 50 බැගින් රජයට වන්දි ගෙවන ලෙස නියෝග කෙරිණි. ජනතා සුබසාධනය සඳහා වෙන් කළ පොදු අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වගකීම මතක් කර දීමට අධිකරණය බැඳී සිටින බව විනිසුරු මඩුල්ල මෙහිදී සඳහන් කළහ. මීට අමතරව, මෙම ගනුදෙනුව හරහා අල්ලස් පනත උල්ලංඝනය වී ඇත්දැයි විමර්ශනය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.














