2022 වසරේ ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ අවධියේදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ පැය කිහිපයක් යනතුරු සමාජ මාධ්‍ය අවහිර කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන රසික ජයකොඩි ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
ප්‍රධාන විනිසුරු පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බලන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, අදාළ හදිසි නීතිය පැනවූයේ එවකට බුද්ධි අංශ ලබා දුන් වාර්තා පදනම් කරගෙන බවයි. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් තර්ක කළේ සමාජ මාධ්‍ය තහනම වාචික නියෝගයක් මත සිදු වූ නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, මෙවැනි දේ අනාගතයේදී සිදු නොවීමට අධිකරණ තීන්දුවක් අවශ්‍ය බවත්ය.
නඩු විභාගය අතරතුර අගවිනිසුරුවරයා විමසා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා පැවසුවේ නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බවයි. අවසානයේදී, වත්මන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දිවුරුම් ප්‍රකාශයක් මගින් සති හයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අධිකරණය, පෙත්සම් විභාගය මැයි 21 වනදා දක්වා කල් තැබීය.














