අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට සහ ඒ සම්බන්ධ අභියාචනා හා විරෝධතා කැඳවීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. අද (27) දින සිට දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම නාම ලේඛනය ප්‍රදර්ශනය කර ඇති අතර, සුදුසුකම් ලැබූවන් පිළිබඳ යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ සඳහා මැදිහත් වීමට මහජනතාවට දැන් අවස්ථාව ඇත.
අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, eservices.gov.lk වෙබ් අඩවිය හරහා සෘජුවම මාර්ගගතව (Online) තම ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. එසේත් නැතිනම් wbb.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් අයදුම්පතක් සම්පූර්ණ කර අදාළ කාර්යාලය වෙත භාර දීමට ද හැකියාව පවතී. මීට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව හෝ බලයලත් සන්නිවේදන මධ්‍යස්ථාන (Communication Centers) හරහා ද මෙම කටයුත්ත සිදු කරගත හැකිය.
මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණක් වීමයි. යම් පුද්ගලයෙකු නුසුදුසු ලෙස ප්‍රතිලාභ ලබන බව හැඟෙන්නේ නම්, ඒ පිළිබඳව නිර්නාමිකව වුවද විරෝධතා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ. මෙම සියලුම අභියාචනා සහ විරෝධතා 2026 අප්‍රේල් මස 10 වන දිනට පෙර ඉදිරිපත් කර අවසන් කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.














