ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ලංකා ටී 10 කුළුඳුල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වය දරන හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත් විය. ඒ අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 26ක පහසු ජයක් වාර්තා කරමිනි.
තරගාවලියේ මූලික වටයේදී ටයිටන්ස් කණ්ඩායම හමුවේ පරාජය වූ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පෙරේදා පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදීද ටයිටන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. අනතුරුව ඔවුන් පිළිමලුන් පිටු දැකීමේ තරගයේදී කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායමත්, දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් මාර්වල්ස් කණ්ඩායමත් පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීම විශේෂත්වයකි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරු මොහමඩ් ශසාඩ් පන්දු 11කදී ලකුණු 26ක් රැස් කළ අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් ගොඩනැගීමට නායක දසුන් ශානක සහ ශෙවෝන් ඩැනියෙල් සමත් වූහ. ශෙවෝන් පන්දු 15කදී ලකුණු 26ක් රැස් කළ අතර දසුන් පන්දු 10කදී ලකුණු 21ක් රැස් කළේය. පන්දු යැවීමේදී ට්‍රවීන් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි. එහිදී ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ ටොම් ඇබෙල් පන්දු 27කදී නොදැවී ලකුණු 54ක් රැස් කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුණි. සාර්ථක පන්දු යැවීමක නිරත වූ රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර දසුන් ශානක ලකුණු 4කට කඩුලු 2ක් දවා ගත්තේය.
දිගින් දිගටම පන්දුවාර 20 ජාතික සංචිතයෙන් නොසලකා හරින ලද දසුන් ශානක මෙම තරගාවලියේදී තුන් ඉරියව් දක්ෂතා දක්වමින් අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගැනීම විශේෂත්වයකි. තරගාවලියේ නැගී එන ක්‍රිඩකයා සම්මානය යොවුන් ක්‍රීඩක ට්‍රවීන් මැතිව් සතු වූ අතර තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගත්තේය. වර්ෂාව මධ්‍යයේ පැවැති තරගාවලිය පැවැත්වීමට ඉහළ දායකත්වයක් ලබාදුන් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයද අගයමින් රුපියල් මිලියන 1.8ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමිණි.