2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ජනය කිරීමට ගත් තීරණය වෙනස් කිරීමට පාකිස්තානය සූදානම් වන බව වාර්තා වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු අද (08) ලාහෝර් නුවරදී පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් සමඟ පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවලින් අනතුරුව, දෙරට අතර තරගය පැවැත්වීමට ඇති අවස්ථාව ‘99%’ ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් පාකිස්තානය මෙම තරගය වර්ජනය කිරීමට මීට පෙර තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, නව එකඟතාවන්ට අනුව ‘A’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම දැවැන්ත ඉන්දු – පාකිස්තාන සටන එළැඹෙන පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.














