පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය අද (මාර්තු 04) රාත්‍රී 7:00 ට ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙහිදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කරවා ගැනීම සඳහා තරග වැදීමට නියමිතය.
දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වීම විශේෂත්වයකි. මූලික වටයේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදුණු ඔවුන් සහභාගී වූ තරග 4 ම ජයගත් අතර, සුපිරි අට දෙනාගේ වටයේදී ද සියලු තරග ජය ගනිමින් අපරාජිතව මෙම අවස්ථාව උදාකර ගත්තේය.
නවසීලන්ත කණ්ඩායම ද ‘ඩී’ කාණ්ඩයෙන් මූලික වටයට එක්වූ අතර එහිදී තරග 3ක් ජයගෙන සුපිරි අට දෙනාගේ වටයට පිවිසියේය. එම වටයේදී තරග 3කින් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ද, පාකිස්තානයට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත් වීම නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයේ වරම් හිමි විය.
දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) රාත්‍රී 7:00 ට සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.














