යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමේ අවදානම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවට (Annual Threat Assessment) අනුව චීන නායක ෂී ජින්පින්ග් 2027 වසර වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස සිය සන්නද්ධ හමුදාවලට නියෝග කර ඇතත්, වර්තමානය වන විට එවැනි ක්ෂණික සැලසුමක් නොමැති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, 2028 වසර වන විට චීනයේ නව යුද නායකත්වය පත් වී අවසන් වීමට නියමිත අතර එම වසරේ පැවැත්වෙන තායිවාන ජනාධිපතිවරණය චීනයේ වඩාත් ආක්‍රමණශීලී ප්‍රවේශයකට හේතු විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැදපෙරදිග පවතින ඉරාන – ඇමෙරිකානු යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු අවධානය සහ යුද ශක්තිය එම කලාපයට යොමු වී පවතින බැවින් එය චීනයට තායිවානය සම්බන්ධයෙන් සිය බලය පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙස ද ඇතැම් පාර්ශව සලකනු ලබයි.
ඇමෙරිකාව සහ තායිවානය මේ වන විටත් මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිය ආරක්ෂක විධිවිධාන තර කරමින් සිටින බව වාර්තා වේ. ගෝලීය වශයෙන් පවතින මෙම යුදමය වාතාවරණයන් එකිනෙකට සම්බන්ධ වී පවතින බැවින් තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින සාමය ඉදිරි වසර කිහිපය තුළ තීරණාත්මක වනු ඇත.















