තංගල්ල, ගොන්නෝරුව ප්‍රදේශයේදී සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ද්විත්ව මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අපරාධ නිවාරණ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් සැකකටයුතු ජීප් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී, ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කළ මෙම සැකකරු පිළිබඳව සැක සිතී සිදු කළ සෝදිසියකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. තණමල්විල සහ වීරවිල ප්‍රදේශවල පදිංචි 34 සහ 33 හැවිරිදි වියේ පසුවන මෙම අඹුසැමි යුවළ පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු 2016 වසරේ සූරියවැව ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සහ 2019 වසරේ තණමල්විල ප්‍රදේශයේදී වෙඩිතබා සිදු කළ තවත් ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සෘජුවම සම්බන්ධ අයෙකු බවයි.
අපරාධ සිදු කිරීමෙන් පසු ව්‍යාජ අනන්‍යතාවක් මවාගෙන ජීවත් වූ මොහු, දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සබඳතා පවත්වමින් දකුණු පළාත තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන පුද්ගලයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ජීප් රථය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














