ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට පවතින ඕනෑම ගැටලුවක් හෝ අපරාධයක් සම්බන්ධ පැමිණිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ හැකි “Tell IGP” (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය යළිත් නව මුහුණුවරකින් සක්‍රීය කර තිබේ. දැනට ක්‍රියාත්මක වන මෙම පද්ධතිය 2026 වසරේ සිට වඩාත් විධිමත් හා ශක්තිමත් යාන්ත්‍රණයක් ලෙස ප්‍රතිසංවිධානය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ට ද සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, දූෂණ, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ මහජන පීඩාවන් පිළිබඳ තොරතුරු සෘජුවම පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. පැමිණිල්ලක් ලැබුණු වහාම අදාළ කොට්ඨාස මගින් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර කඩිනම් විමර්ශන නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගැනේ.
යම් හෙයකින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට නිසි විසඳුමක් හෝ ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, එම පද්ධතිය හරහාම යළිත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කිරීමේ හැකියාව ද මහජනතාවට ලබා දී ඇත. විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි. මහජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය (www.police.lk) හරහා හෝ telligp.police.lk වෙබ් ලිපිනය මගින් මෙන්ම [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ ද සිය පැමිණිලි යොමු කළ හැකිය.














