බ්‍රිතාන්‍යයේ ස්ටෝක්-ඔන්-ට්‍රෙන්ට් (Stoke-on-Trent) ප්‍රදේශයේදී මවකට සහ ඇගේ 13 හැවිරිදි දියණියට අමානුෂික ලෙස ගිනි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දස දෙනෙකු වැරදිකරුවන් බව එරට අධිකරණය තීන්දු කර තිබේ. 2021 වසරේදී සිදුවූ මෙම බිහිසුණු පළිගැනීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් සති 11ක් පුරා පැවැති නඩු විභාගයකින් පසුව නොටින්හැම් ක්‍රවුන් අධිකරණය (Nottingham Crown Court) මෙම තීන්දුව ලබා දී ඇත. සිය නිවස තුළදීම තම දියණිය ඉදිරිපිටදී මවක මෙලෙස ගිනිබත් කිරීම අතිශය කෲර ක්‍රියාවක් බව ස්ටැෆර්ඩ්ෂයර් පොලිසිය පවසයි.
සිද්ධිය වාර්තා වන අන්දමට, ප්‍රහාරයට පෙර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකදී එක් පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදුවී ඇති අතර, එයට පළිගැනීමක් ලෙස මෙම පිරිස අදාළ නිවසට කඩා වැදී ඇත. නිවසේ ජනේල කුඩු කර සාලය තුළට පෙට්‍රල් වත්කර ගිනි තැබීමට ඔවුන් කටයුතු කර තිබේ. මෙහිදී 31 හැවිරිදි මවගේ සිරුරෙන් 65%ක් පමණ පිළිස්සී ඇති අතර, ඇය මාස දෙකක් සිහි විසඥව (Coma) පසුවී ඇත. ඇගේ 13 හැවිරිදි දියණිය ද 15%ක පිළිස්සුම් තුවාල ලබා තිබේ. ජීවිතය බේරා ගැනීම සඳහා උඩුමහලේ ජනේලයකින් බිමට පැනීම නිසා මවගේ ඉල ඇට සහ උකුල් ඇටය බිඳී ගොස් ඇති අතර, ඇයට නැවත ඇවිදීමට ඉගෙන ගැනීමට පවා සිදුවිය.
මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ ෂකීල් උද්දීන්, ලුක්මාන් ඛාන් සහ රියාද් ඉක්බාල් ඇතුළු පුද්ගලයන් පිරිසකට මිනීමැරීමට තැත් කිරීම, බරපතල තුවාල සිදුකිරීම සහ දේපළවලට ගිනි තැබීම යන චෝදනා යටතේ දඬුවම් නියම කිරීමට නියමිතය. තවත් පස් දෙනෙකු සිය වැරදි පිළිගෙන ඇති අතර මේ වන විට සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. මෙම ප්‍රහාරය නිසා වින්දිත කාන්තාවට මුළු ජීවිත කාලය පුරාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවත්, ඇගේ ජීවිතය සදහටම වෙනස් වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















