අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝට් ආතර් (Port Arthur) හි පිහිටි ප්‍රබල වැලෙරෝ (Valero) තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම හදිසි තත්ත්වය හමුවේ පෝට් ආතර් නගර බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසට (shelter-in-place) නියෝග කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන්ම සබීන් පාස් (Sabine Pass), ප්ලෙෂර් අයිලන්ඩ් (Pleasure Island), 73 වන මහා මාර්ගයට දකුණින් වූ ප්‍රදේශ සහ ස්ටිල්වෙල් බුලවාර්ඩ් සිට බටහිර දෙසට පවතින ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන බව නගර පරිපාලනය නිල වශයෙන් නිවේදනය කර ඇත. දිනකට බොරතෙල් බැරල් 380,000ක දැවැන්ත ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ හටගත් ගින්න පාලනය කිරීමට මේ වන විට සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වේ.
කෙසේ වෙතත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් (Zena Stephens) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි. මූලික විමර්ශනවලට අනුව මෙම පිපිරීම පිරිපහදුවේ පැවති කාර්මික හීටරයක් (industrial heater) ආශ්‍රිතව හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ. මැදපෙරදිග අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලු හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළ අස්ථාවර වී ඇති මොහොතක, අමෙරිකාවේ ප්‍රධාන පිරිපහදුවක සිදුවූ මෙම අනතුර තෙල් මිල කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















