අමෙරිකානු එක්සත් ජනපදයේ රතු ප්‍රාන්තයක් (Republicans බහුතරය සහිත) ලෙස සැලකෙන ටෙක්සාස්හි, 1988න් පසු ප්‍රථම වතාවට සෙනෙට් අසුනක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂය දැවැන්ත සටනක නිරතව සිටියි. හෙට (මාර්තු 3) පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජේම්ස් ටලාරිකෝ (James Talarico) සහ ජැස්මින් ක්‍රොකට් (Jasmine Crockett) එකිනෙකට වෙනස් උපායමාර්ග ඔස්සේ ඡන්දදායකයන් ආකර්ෂණය කරගනිමින් සිටිති. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය සිය වාසියට හරවා ගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මෙවර දැඩි උනන්දුවක් දක්වයි.
36 හැවිරිදි ජේම්ස් ටලාරිකෝ හිටපු ගුරුවරයෙකු වන අතර ඔහු ආගමික දර්ශනය හදාරන ශිෂ්‍යයෙකි. ඔහු වෛරී දේශපාලනය වෙනුවට “ආදරයේ දේශපාලනය” සහ ආර්ථික සමානතාව ගැන කතා කරමින් මධ්‍යස්ථ මතධාරී ඡන්දදායකයන් සහ කලකිරීමට පත් රිපබ්ලිකන් පාක්ෂිකයන් තමා වෙත දිනා ගැනීමට උත්සාහ කරයි. අනෙක් පසින් 44 හැවිරිදි කොංග්‍රස් සභික ජැස්මින් ක්‍රොකට්, ට්‍රම්ප්වාදයට එරෙහිව සෘජුවම සටන් කරන, ප්‍රහාරාත්මක දේශපාලන ශෛලියක් අනුගමනය කරන නායිකාවකි. ඇය පක්ෂයේ මූලික පදනම වන තරුණ සහ සුළුතර ජාතිකයන්ගේ ඡන්ද ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරයි.
පසුගිය දිනවල සිදුකළ සමීක්ෂණ අනුව ක්‍රොකට් ඉදිරියෙන් සිටි නමුත්, ස්ටීවන් කොල්බර්ට් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රූපවාහිනී නාලිකාවකින් වාරණය කිරීමත් සමඟ ටලාරිකෝ වෙත ලැබුණු ජනතා අවධානය සහ අරමුදල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ටෙක්සාස්හි මුල් අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දත්ත පෙන්වා දෙන්නේ මෙවර රිපබ්ලිකන් පාක්ෂිකයන්ට වඩා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. නොවැම්බර් මාසයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා පරාජය කිරීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න පිළිබඳව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර මේ වන විට දැඩි සංවාදයක් ගොඩනැගී ඇත.














