සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් අපනයන වෙළඳපොළ තුළ ශක්තිමත් පදනමක් ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන 15 වන ‘Textile Series of Exhibitions’ ප්‍රදර්ශන මාලාව ඊයේ (05) කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. CEMS-Global ආයතනය විසින් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය තුළ වසර 15ක සක්‍රීය දායකත්වය සහ ජාත්‍යන්තර මට්ටමේ 25 වසරක අභිමානය සනිටුහන් කරමින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය ප්‍රධාන අංශ තුනකින් සමන්විත වේ.
එහි පළමු අංගය ලෙස 13 වන Textech Sri Lanka ප්‍රදර්ශනය හරහා ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ හඳුන්වා දෙනු ලබයි. දෙවනුව, 15 වන Colombo International Yarn & Fabric Show මගින් ලොව පුරා විසිරී සිටින ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවන්ගේ උසස් ප්‍රමිතියෙන් යුත් නූල් සහ රෙදිපිළි වර්ග ප්‍රදර්ශනය කෙරේ. තෙවනුව, 51 වන DyeChem Sri Lanka ප්‍රදර්ශනය මගින් රෙදිපිළි කර්මාන්තයට අත්‍යවශ්‍ය සායම් වර්ග සහ විශේෂ රසායනික ද්‍රව්‍ය පිළිබඳ නවතම සොයාගැනීම් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
ගෝලීය සැපයුම් දාමයන් වේගයෙන් වෙනස් වෙමින් පවතින වර්තමාන යුදමය සහ ආර්ථික වටපිටාව හමුවේ ශ්‍රී ලංකාව උසස් ප්‍රමිතියෙන් යුත් විශ්වාසදායක නිෂ්පාදන ගමනාන්තයක් ලෙස පවත්වා ගැනීමට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ හමුවීම් අතිශය වැදගත් වේ. දේශීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර තාක්ෂණය සහ නව සබඳතා සමීප කරවන මෙම ප්‍රදර්ශන මාලාව මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට මහඟු පිටුවහලක් වනු නොඅනුමානය. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ‘Luminex 26’ වැනි ඉංජිනේරු ප්‍රදර්ශන ද කොළඹදී පැවැත්වෙන මෙවැනි අවස්ථාවක, කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි මෙවැනි පිබිදීමක් ඇතිවීම රටේ අනාගතය පිළිබඳ සුබවාදී පෙරනිමිත්තකි.














