අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම සම්බන්ධ වන පරිදි පොදු සැලැස්මක් සකස් කර ගත යුතු බව අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (31) දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” අනුරාධපුර දිස්ත්‍රික්කය රටේ හදවත වැනි සුවිශේෂී ගෞරවයක් හිමිවෙන කේන්ද්‍රීය දිස්ත්‍රික්කයක්. වාරි කර්මාන්තයේ දී සුවිශේෂ ගෞරවයක් ලැබෙනවා. අතිරික්ත වී නිෂ්පාදනයක් කළ හැකි බව අදත් ඔප්පු කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවයි.ඔබ සියලු දෙනා එක්ව ඉදිරියටත් ඒ ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍යයි. ග්‍රාම නිලධාරී කොට්ඨාස 14300 තිබෙනවා. වනාන්තර හැර මේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සංවර්ධනය කළ හැකි ස්ථාන සංවර්ධනයට යොමු කරමින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. එහෙම රටක් ගොඩනගන්නට අපට පුළුවන්. මහ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින්, විදේශ විනිමය උපයා ගතහැකි කාර්යයන් සඳහා රට යොමුවිය යුතුයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමුන් කී දාහක් පාසල් යනවාද? කී දාහක් සාමාන්‍ය පෙළ දක්වා එනවද? අතරමග හැළෙන ළමයින්ට විසඳුමක් දෙන්න අපට තවමත් නොහැකි වී තිබෙනවා. උසස් පෙළ සමත්වෙන සියලු දෙනා විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ නැහැ. ඒ විදියට අවුරුද්දෙන් අවුරුද්දට එකතු වෙන මේ දරුවන්ට මොකක්ද කරන්නේ. ඒ දරුවන්ගේ දියුණුව සලසාගත හැකි මාර්ග රාශියක් විවෘත වෙන්න ඕනේ. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එය සිදුවෙනවා පරක්කුයි. අපේ ජීවනෝපාය මාර්ග, සංවර්ධනය හා නිෂ්පාදන අංශයේ අලුත් ඉඩකඩ අලුත් පරම්පරාවට ලබාදෙන්න නම් පශ්චාත් අධ්‍යාපන අවස්ථා දරුවන්ට ලබාදීම සඳහා වූ වැඩපිළිවෙළක් හරහා ඉදිරියට ගමන් කළ යුතුයි. එවැනි සැලැස්මක් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් සකස් කරයි කියලා මම විශ්වාස කරනවා. හැම දෙයක්ම කොළඹින් කෙරෙන තුරු ඉන්න එපා. පාසලින් පිටවන දරුවන්ට ජීවනෝපාය මාර්ග සකසා දෙන්න ඔබට පුළුවන්. දවල් එකහමාරට පාසල් වහනවා. කෝටි ගණනක් ආයෝජනය කරමින් සකස් කර තිබෙන පාසල් ගොඩනැගිලි පරිභෝජනයට ගනිමින් අභියෝගාත්මක කාල පරිච්ඡේදවල අනෙක් රටවල් කරපු වෙනස්කම් දෙස අපි බලන්න ඕනේ. ආණ්ඩුව ඒ තීරණවලට අවස්ථාව දෙමින් ඉඩකඩ සලසා තිබෙනවා. අවුරුද්දේ වැඩි කාලයක් ඉර පායන අනුරාධපුර දිස්ත්‍රික්කය වාසනාවේ දිස්ත්‍රික්කයයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසි දෙකෙන් කීයක් සූර්යතාපයට පරිවර්තනය වෙලා තියෙනවාද? රාජ්‍ය ගොඩනැගිලි කීයක එවැනි පරිවර්තනය කර තිබෙනවාද? ජල විදුලි නිෂ්පාදනයට වඩා රටේ විදුලි ඉල්ලුම වැඩියි. මෙවැනි අලුත් දේ කල්පනා කරන්න තමයි රජරටට විශ්වවිද්‍යාලයක් තියෙන්නේ. අපි අලුතෙන් හිතුවේ නැත්නම් සිදුවෙන්නේ සංවර්ධනයට කොළඹින් ලැබෙන මුදල් ටික බෙදලා ඒකෙ වාර්තාව කියවන එක පමණයි. අභියෝග හමුවේ ලෝකයම අද තැති ගැනිලා ඉන්නෙ. කොවිඩ් ආවා. අපි කඩන් වැටුණා. අඩුවෙන්ම මරණ සංඛ්‍යාව පවත්වාගෙන ගිය රටක් විදියට අපි ඉදිරියට ගියේ හැමෝගෙම සහයෝගයෙන්. එදා ජය ගන්න පුළුවන් හැකියාව ලැබුණේ සේවාවන් සම්බන්ධීකරණය කරලා ඉලක්ක කරා අප ගමන් කිරීම නිසයි. ඊට පස්සේ අපට ආර්ථික අර්බුදයක් ආවා. නිෂ්පාදනය වගේම අපේ වියදම් අඩුකර ගැනීම සඳහා කළමනාකාරිත්වය මේ කාල පරිච්ඡේදයේ ඉතාම වැදගත්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම සම්බන්ධ වන පරිදි පොදු සැලැස්මක් සකස් කර ගතයුතුයි. එය සංවර්ධනය සඳහා මඟ පෙන්වන සැලැස්මක් බවට පත් කරගත යුතුයි. අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර යොමු කර තිබෙනවා. තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ගමනක් පිළිබඳව ඉදිරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන්න පුළුවන් අවස්ථාවකට පැමිණ තිබෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ආර්ථිකය වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත වූ නිසා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ.එච්. නන්දසේන, කේ.පී.එස්.කුමාරසිරි, යදාමිණි ගුණවර්ධන, රෝහණ බණ්ඩාර , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිසාපති එම්.ජේ.කේ ජයසුන්දර , ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය ආයතන නිලධාරීන් පොදු සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.