විදේශ වත්කම් සංචිතය බලගන්වන එකම සහ නිවැරදි ක්‍රමය ආනයන ආදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වැඩියෙන් බලගැන්වීම බවත් ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 13 වනදා බුත්තල කර්මාන්තපුර පරිශ්‍රයේ නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්ත ශාලා 07කට මුල් ගල් තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය. “කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්තපුරවලින් නව ආයෝජකයන්ට කර්මාන්ත ආරම්භ කිරීම සඳහා වැඩිම ඉඩම් කොටස් ප්‍රමාණයක් ලබාදුන් වසර, 2021 වසර බව මට කලින් අදහස් දැක්වූ අප අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා පැවසුවා. එවැනි ඉලක්කයක් සපුරා ගැනීමට අපට හැකි වුණේ සාමාන්‍ය තත්වයක් යටතේ නොවෙයි, කොවිඩ් වසංගත තත්වය යටතේ බවත් සිහිපත් කළ යුතුව තිබෙනවා. අප බලාපොරොත්තු වෙනවා මේ වසරේදී කර්මාන්තපුරවලින් දේශීය කර්මාන්තකරුවන් සඳහා ඊට වඩා වැඩි ඉඩම් කොටස් ප්‍රමාණයක් ලබා දීමට. බොහෝ දෙනකු දන්නේ නැහැ, රජයේ කර්මාන්තපුරයක තම කර්මාන්තය පවත්වාගෙන යන විට ලැබෙන සහන මොනවාද,0 කියා. බදු සහන, වසර 05ක් යනතෙක් තමන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකිරීමෙන් ලැබෙන සහන හා විදුලි බිලට ලැබෙන සහන ඇතුළු තවත් සහන ගණනාවක් එහිදී කර්මාන්තකරුවකුට ලැබෙනවා. මේවා නොදන්නා නිසා තමයි සමහර කර්මාන්තකරුවන් තමන්ම ඉඩම් අරගෙන, කර්මාන්ත ශාලාව හදලා තනිවම නැගිටින්න හදන්නේ.
ගිය වසරේදී අපි ලබාදිය හැකි උපරිම ඉඩම් කොටස් ප්‍රමාණය ප්‍රදානය කළේ වෙන කිසිවක් නිසා නොවෙයි, අද මේ රට වැටිලා තිබෙන තැනින් ගොඩගන්න පුළුවන් මේ රටේ කර්මාන්තකරුවාට කියලා අපි ‘ඉහටත් උඩින්’ විශ්වාස කරන නිසයි. අද අපට හැකි වුණා මෙම කර්මාන්තපුරය තුළ නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමට. ඒ සඳහා සිදුකොට ඇති ආයෝජනය රුපියල් මිලියන 53.7ක් පමණ වෙනවා. ඒ වගේම එමගින් ලැබෙන සෘජු රැකියා ප්‍රමාණය 95ක් ද වක්‍ර රැකියා ප්‍රමාණය 400ක් පමණ ද වෙනවා. එපමණක් නොවෙයි අද අපි මෙම කර්මාන්තපුරය තුළ නව කර්මාන්තශාලා 07කට මුල් ගල් තබනු ලැබුවා. එම කර්මාන්ත ශාලා 07ත් මේ ස්ථානයේ බලගැන්වෙන කොට ඒ සඳහා සිදුවන මුළු ආයෝජනය රුපියල් මිලියන 175කට වැඩියි. එමගින් ද ඍජු රැකියා 275කට වැඩි ප්‍රමාණයක් හා වක්‍ර රැකියා 1065ක් පමණ ද නිර්මාණය වනු ඇති.
කර්මාන්ත ශාලාවක් කියන්නේ ගමෙන් පන්නන්න ඕනෙ එකක් නොවෙයි, ගම්මුන් විසින් රැක බලා ගත යුතු එකක්. අපි ඇතැම් විට වැරදි අවබෝධයෙන්, වැරදි නිගමනයන් මත සමහර සංවර්ධන කටයුතුවලට විරුද්ධ වෙනවා. කොළඹ වරාය නගරය හදනකොට ‘ලංකාවේම කළුගල් ටික ඉවර වෙනවා. සීගිරි ගලත් කඩන්න වෙයි. වරාය නගරයට යන්න වෙන්නෙ චීනාගෙන් වීසා අරගෙන’ වැනි කතා කීවා. ඔය කියපු කතා විශ්වාස කරපු මිනිස්සු මේ රටේ හිටියා. ඒ අය, ඒ නිසාම වරාය නගරය දිහා බැලුවේ වපර ඇසින්. නමුත් අද අපේ රටේ කළුගල් ටික ඉවර වෙලත් නැහැ. වරාය නගරයට යන්න වීසා ගන්න වෙලත් නැහැ. ඒ කතා එදා විශ්වාස කරපු අය, තරුණ දරුවෝ අද නිතිපතා වරාය නගරය නරඹන්න යනවා. රටක් ආර්ථික වශයෙන් බලගන්වන්න නම් අපට යම් අවදානමක් අරගෙන කටයුතු කරන්න වෙනවා. පරිසර ප්‍රතිපත්ති 100%ක් රකිමින්, ඒ පිළිබඳව පමණක් බර තබමින් කටයුතු කළොත් කර්මාන්තකරුවා හා රටක කර්මාන්තකරණය ප්‍රතික්ෂේප වීම තමයි සිදුවන්නේ. පරිසර ප්‍රතිපත්ති නොසලකා හැරීමක් ගැන නොවෙයි මා කියන්නේ. ඒවා සුරකිමින් කටයුතු කළ යුතුයි. නමුත් කර්මාන්තකරුවා අධෛර්යයට පත් නොවන ලෙසයි අපි කටයුතු කළ යුත්තේ.
එකම දිනයක – එකම කර්මාන්තපුරයක නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමෙන් සහ නව කර්මාන්තශාලා 07කට මුල් ගල් තැබීමෙන් කියැවෙන පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි, ‘අපේ කර්මාන්තකරුවා ඕනෑම දුෂ්කර අභියෝගයක් මැද්දේ වුවත් මේ රටට විදේශ විනිමය රැගෙන එන මාර්ගය විවෘත කරදීමට සූදානම්’ කියන එක. අපට සොබාදහම, විදේශ විනිමය උපදවාලිය හැකි සම්පත් රැසක් ලබාදී තිබෙනවා. දැන් බලන්න, මැදපෙරදිග ඇතැම් රටවල කිරි නිෂ්පාදනය කෙරෙන අන්දම. කාන්තාරයේ කර්මාන්ත ශාලාව ගහනවා. කිරි දෙනුන් පරිගණකගත කළ යන්ත්‍රසූත්‍රවලට සම්බන්ධ කර පේළියට තබා තිබෙනවා. නියමිත කාලයකට වතාවක් යන්ත්‍රානුසාරයෙන් කිරි දෝවනය සිදු කෙරෙනවා. කන්න දෙන්නෙ පිටරටවලින් ගෙනෙන තණකොළ. මේ රටින් ගෙන නොගියාට වෙනත් රටවලින් ගෙන ගිය තණකොළ තමයි එහේ දෙන්නෙ. තණකොළ ටික පවා විදේශ විනිමය ඉපදවිය හැකි සම්පතක් බවයි ඉන් කියැවෙන්නේ. සොබාදහම වැඩියෙන්ම සලකලා තිබෙන රටක් තමයි අපේ රට. ඒ නිසාම ද මන්දා, අපි සොබාදහම ලබාදී ඇති මහා සම්පත්වලින් නිසි ප්‍රතිලාභ නොලබන්නේ.
කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමාගේ රාජ්‍ය අමාත්‍යාංශයෙන් කෘෂි නවීකරණ ව්‍යාපෘතිවලට, ලෝක බැංකු ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබා දී තිබෙන අනුග්‍රහය ඉතා වැදගත්. අපි ණය අරගෙන කරන්න ඕනේ යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොවෙයි. එය අත්‍යවශ්‍යයි. නමුත් ඊට වඩා බලවත් මේ රටේ කර්මාන්තකරුවා බලගැන්වීමට සිදු කරන මූල්‍ය ආයෝජනය. අද අපි මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදයට උත්තර දෙන්න පුළුවන් මෙරට කර්මාන්තකරුවාටයි. ඇතැම් විට ලෝක බැංකුවෙන් ලබා ගත්තු ණය ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමයක් මේ වන විට මේ ප්‍රතිලාභ ලබපු කර්මාන්තකරුවන් මේ රටට උත්පාදනය කර දී ඇති. ලෝකයේ තායිලන්තය වැනි රටවල් කෘෂි නිෂ්පාදන නවීකරණයට ගිය නිසා තමයි ඔවුනට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපදවන්නට පුළුවන් වුණේ. කෘෂි නිෂ්පාදන නවීකරණයට බර තැබීමෙන් තමයි ඒ වර්ධනය අත්පත් කර ගැනීමට හැකි වන්නේ. මට හිතන්නේ අපේ කර්මාන්තකරුවන් ක්‍රමානුකූලව ඒ මාවතට අවතීර්ණ වෙමින් තිබෙනවා, කියලයි. මෙම කර්මාන්තපුරය ගත්තත් කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කිරීමේ කර්මාන්ත තමයි බහුලව ප්‍රවර්ධනය වන්නේ. ඒක තමයි අද අපේ රටට ඕනේ. එවැනි කර්මාන්තවලින් තමයි ගොවියන්ගේ අතටත් මුදලක් ලැබෙන්නේ. අපට උවමනා ගොවියා බලගන්වමින්, ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත බලගන්වන්න. ඒ මගින් මේ රටට විදේශ විනිමය උපදවා දෙන්න.
අද අපේ රටේ සාමාන්‍යයෙන් සාකච්ඡා වෙන්නේ සෘණාත්මක දේවල් පමණයි. ධනාත්මක දෙයක් ආරංචි වුණොත් ‘ෂුවර් ද’ කියා අහනවා. නමුත් සෘණාත්මක දෙයක් ආරංචි වුණාම ඒක කොන්දේසි විරහිතව පිළිගන්නවා. අද මගෙන් එක්කෙනෙක් ඇහුවා, ‘ශ්‍රී ලංකන් එක ලාබ ලබනවා කියන එක ඇත්තද?’ කියා. ‘ශ්‍රී ලන්කන් එක කඩා වැටිලා’ කියලා ආරංචි වුණොත් ඒක පිළිගන්නවා. නමුත් ලාබ ලබනවා කීවාම තමයි ‘ඇත්ත ද’ කියා විමසන්නේ. අද මොනරාගල සීනි කර්මාන්ත ශාලා ලාබ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම ‘වේලිඔය’ නව සීනි කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ විදියට කර්මාන්ත ගමට ඒමෙන් පමණයි අපි අද මුහුණ දී තිබෙන අභියෝගය ජය ගත හැකි වෙන්නේ.
රජය කියන්නේ පෞද්ගලික අංශයට බාධා කරන්නෙක් නොවෙයි. රජය කියන්නේ පෞද්ගලික අංශයට නැගිටින්න සහයෝගය දෙන ආයතනයයි. ඒ නිසා අපි දෙගොල්ලොම එකට එකතු වුණොත් ඉදිරි වසර කිහිපය තුළ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවලින් මේ රටේ විදේශ වත්කම් සංචිතය බලගන්වන්න අපට පුළුවන් වේවි. විදේශ වත්කම් සංචිතය උඩට ගියොත් පමණයි අපි ‘රේටින්ස්වලින්’ උඩට යන්නේ. රේටින්ස්වලින් උඩට ගියොත් විතරයි ආයෝජකයෙක් මේ රට දිහා බලන්නෙ. දැන් අපි රේටින්ස්වලින් ඉන්න තැන අනුව ණය දෙන ආයතන ණය දෙන්න පැකිලෙනවා. වරාය නගරය කොතරම් හොඳ වුණත් ඒ දිහා බලා ඉන්නවා මිසක් ආයෝජනය කරන්න එන්නේ නැහැ. විදේශ වත්කම් සංචිතය බලගන්වන එකම සහ නිවැරදි ක්‍රමය වන්නේ ආනයන ආදේශන කර්මාන්ත සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වැඩියෙන් බලගැන්වීමයි. කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපි ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඒ සඳහායි. මේ වන විට අපි කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ලබා දිය හැකි ඉඩම් පිළිබඳ සම්පූර්ණ දත්ත සංචිතයක් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සකස්කර තිබෙනවා. එවැනි කර්මාන්ත ආරම්භ කරන පිරිසට සියලු පහසුකම් සපයා දීමට අපි සූදානම්. මේ අමාරු කාලයේ අපේ රටට විදේශ විනිමය උපයා දෙන මහා බලඇණියක කොටස්කරුවන් බවට පත්වීමට මේ රටේ සියලු කර්මාන්තකරුවන්ට අපි ඇරයුම් කරනවා. අවසන් වශයෙන් බුත්තල කර්මාන්තපුරයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාත් අද දිනයේ විවෘත වූ කර්මාන්ත ශාලාත් අද දින මුල් ගල් තැබූ, ඉදිරියේදී විවෘත කෙරෙන කර්මාන්ත ශාලාත් වැඩිවැඩියෙන් දියුණු වේවා’යි ප්‍රාර්ථනා කරනවා.”
මෙම අවස්ථාවට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජානිපෙ දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.