මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බවද කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ අද (06) පැවති හමුවේදීය.
පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් හේතුවෙන් රටේ ප්රජාතන්ත්රවාදය සෙළවීමකට ලක් වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද මෙහිදී නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
රටේ ආර්ථිකය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් සිය අදහස් සහ යෝජනා ලබාදීමට මෙන්ම සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් ද මෙහිදී නීතිඥවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
එම ඉල්ලීම් කිහිපයකට එම අවස්ථාවේම විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර අනුරාධපුර නීතිඥවරුන්ගේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවිම වෙනුවෙන් නිතිඥ විවේකාගාරයක් ඉදිකිරීමට මුදල් වෙන් කරන බව ද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මෙතන විවිධ පක්ෂවල අය ඉන්නවා. මම මෙතනට ආවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙසයි ඔබ සියලුදෙනා වෙනුවෙන් කටයුතු කරන්නේ. දැන් අපි සම්ප්‍රදායිකව සිතු කාලය අවසන් වෙලා තිබෙනවා. සම්ප්‍රදායික දේශපාලන නිසා අපිට මේ අසීරු තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. අපි එයින් ඉවත්විය යුතුයි. පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුවයි. පක්ෂ ක්රමයේ වුවමනාවට රට හදන්න බැහැ. එය සිදු කිරීමට යාම නිසා තමයි පසුගිය කාලයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණේ. එහිදී කිසිවෙකු වගකීම භාරගත්තේ නැහැ. අවසානයේ ආණ්ඩුව හදන්නවත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ප්‍රධාන පක්ෂ එකට එක් වී මේ පිළිබඳ සාකච්ඡා කිරීම වඩා සුදුසු බව මගේ විශ්වාසයයි. පැරණි පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත තමයි එදා ගම ගොඩනැගුණේ. නමුත් දැන් නව පක්ෂ ගණනාවක් බිහි වී තිබෙනවා. ඉදිරි මැතිවරණයේදී මේ සියල්ල වෙනස් විය හැකියි. පක්ෂ පිළිබඳ නොසිතා රට ගැන සිතා කටයුතු කළයුතුව තිබෙනවා. නැත්නම් සිදු වන්නේ බෙදීමක් පමණයි. අපි පසුකළේ ඉතා කණගාටුදායක කාලයක්. අපේ මන්ත්‍රීවරයෙක් මහමගදී පහරදී ඝාතනය කළා. අපි නැවත එම තත්ත්වයට යා යුතුද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ඇතැම් දේශපාලනඥයන් මෙය අනුමත කළා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමයවත් මෙය හෙළා දැකීමට පියවර ගත්තේ නැහැ. එදා ඝාතනය කෙරුණේ ප්රජාතන්ත්රවාදයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයෙක්. එදා මේ රටේ ප්රජාතන්ත්රවාදය තිබූ තැන අද අප අමතක කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පුද්ගලයා තමයි අගමැතිවරයා විය යුත්තේ. එය නොමැතිනම් වෙනත් අයෙකුට අගමැති ධූරයට පත්විය හැකියි. අගමැතිවරයාගේ නිවසට ගිනි තබා අයින් වෙන්න කියනව නම්, අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය කියනවා නම් රටේ ප්‍රජාත්න්ත්‍රවාදයක් තිබෙනවාද කියා අහන්න කැමතියි. එංගන්තය වැනි රටක මෙය සිදුවුවහොත් කුමක් වෙයිද, ඒ නිසා දැන් අපට තිබෙන්නේ රට තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමයි. එම මූලධර්ම අනුව පක්ෂයෙක් කිසිවෙකුට කරදරයක් සිදු වුවහොත් එය හෙළා දැකිය යුතුයි. විපක්ෂයේ සිටි කුමාර වෙල්ගම මහතාත් මෝටර් රථය තුළට දමා ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි පිරිසක් එතුමා බේරගනු ලැබුවා. ඔහු හොරෙක්වත්, මිනීමරුවෙක්වත් නොවෙයි. ඒ නිසා අප රට තුළ නීතිය හා සාමය තහවුරු කළයුතුයි. එහිදි අප සියලුදෙනා එකට වැඩකළයුතුයි. ඇතැම් පක්ෂ කියනවා සොරුන්ට දඩුවම් කරනවා කියලා. සොරකමට අපි විරුද්ධයි. නමුත් පක්ෂවලට ඔවුන්ට දඩුවම් කරන්න බැහැ. සොරුන්ව හොයාගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ කරනවා නම් එය නිවැරදියි. ඒ වගේම ඔන්ලයින් ගෙන ආ විට ප්රජාතන්ත්රවාදය නැති වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ පැරණි දේශපාලනයෙන් අප ඉවත්විය යුතුයි. අප සියලුදෙනා අලුතින් සිතිය යුතුයි. පසුගිය සමයේ රටේ ප්රජාතන්ත්රවාදය සෙළවිමකට ලක් වුණා. ඒ නිසා රට තුළ පිළිපැන්න ප්රජාතන්ත්රවාදය නිසි මගට ගෙන රට ඉදිරියට ගෙන යාමට එක්වෙමු කියලා ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායයක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු සහ අනුරාධපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.