අපේ රට මේ රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම බලපෑමක් වී තිබෙන්නේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නය බවත් ගණකාධිකාරීවරුන් හැටියට සහ විගණකවරුන්ට වෘත්තීමය ලෙසත් රාජකාරි ලෙසත් මූල්‍ය විනය ඇති කිරීම පැවරී ඇති ප්‍රධානම කාර්යභාරයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ‘වංචාවෙන් හා දූෂණයෙන් තොර රටක් ජාතික ජන බලවේගයේ විගණන හා ගණකාධිකාරී වෘත්තිකයින් විසින් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (21) සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය. ” අපේ රට මේ රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම බලපෑමක් වී තිබෙන්නේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයයි. ගණකාධිකාරීවරුන් හැටියට ඔබට සහ විගණකවරුන්ට වෘත්තීමය ලෙසත් රාජකාරි ලෙසත් මූල්‍ය විනය ඇති කිරීම පැවරී ඇති ප්‍රධානම කාර්යභාරයයි.
1977 දී එතෙක් අනුගමනය කරමින් තිබුණ රජය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය හැසිරවීම වෙනුවට ආර්ථිකය විවෘත කර හැසිරවීමට පටන් ගත්තා. රූපවාහිනිය ආවා. පාරවල්, හෝටල්, ආයෝජන කලාප හැදෙන්න පටන් ගත්තා. මහත් සංවර්ධනයක් උදාවේවි කියා මිනිස්සු සිතුවා. නමුත් අපි ආපහු හැරී බලන විට සිදුවී තිබෙන්නේ ඉතාමත් අහිතකර ප්‍රතිඵලයක්. 1977 දී ආනයන අපනයන අතර පරතරය ලෙස ඩොලර් මිලියන හතළිහක ධන වෙළඳ ශේෂයක් තිබුණා. 2021 වෙන විට වෙළඳ ශේෂය ඍණ ඩොලර් මිලියන 8110යි. ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදකලා වී ජීවත් විය නොහැකියි. නිෂ්පාදනයෙන්, වෙළඳාමෙන්, සන්නිවේදනයෙන් ලෝකය ගැටගැසී තිබෙනවා. ආර්ථිකය විවෘත කළේ ජාතික නිෂ්පාදනය, ජාතික ව්‍යවසායකයා, ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගෙන නොවෙයි. කිසිදු රාජ්‍යයක් සිදු නොකරන ආකාරයේ විවෘතභාවයක් මේ රටේ ඇති කළා.
1977 උපායමාර්ගයක් ලෙස තුළ රාජ්‍ය දේපළ අත්හැරීම පිළිබඳ කතාවක් ආවා. ඒ කතාව ඇතුලෙත් තිබුණේ අල්ලස, වංචාව, දූෂණය. ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට හිඟුරාන සීනි කම්හල පෞද්ගලීකරණය කළා. දස වසරකට පෙර වාර්තාවක් ආවා, සීනි කම්හල චීන සමාගමකට විකුණන විට අක්කර 600ක පැල තවානක් තිබුණා. අක්කර 6000ක උක් වගාවක් තිබුණා. ෆැක්ටරියක් තිබුණා. ගබඩාවේ සීනි තිබුණා. නමුත් ගබඩාවේ තිබූ සීනිවල වටිනාකමටත් වඩා අඩුවෙන් ඒක විකුණා දැමුවා. 90 දශකයේ නැවත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ සාකච්ඡාවක් ආවා. පුත්තලම සීමෙන්ති කම්හල විකිණීමේදී ආන්දෝලනයකට තුඩු දුන් තවක්කාල් ගනුදෙනුව තිබුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් පවා තිබුණා. එයාර් ලංකා එමිරේට්ස් එකට විකුණන කොට එයාර් ලංකා දූෂිත ගනුදෙනුවේදීත් ටෙලිකොම් සමාගම, ජපන් සමාගමක් වෙත පැවරීමේදීත් දූෂිත ගනුදෙනු පිළිබඳ වාර්තා පළ වුණා.
2004 සුනාමිය නිසා නැවත කඩඉමක් ආවා. ව්‍යසනයෙන් පස්සේ ලෝකයේ විවිධ රාජ්‍යයන්ගෙන් විශාල ආධාර ලැබුණා. ඒ අවස්ථාව අපේ රටේ අලුත් දිසාවකට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලැබුණා. නමුත් අපට අහන්න ලැබුණේ සුනාමි අරමුදල් වංචාවන් පිළිබඳව. අපි වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. ඒ ඇතුලෙත් අපට අහන්න ලැබුණේ මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ කූට ගනුදෙනු පිළිබඳවයි. පසුගිය කාලයේ රුසියාවෙන් නැවක් මිලදී ගැනීමේදීත් අයථා ගනුදෙනු ගැන කතා මතු වුණා. යුද්ධය අවසානයේ ජනතාව සංවර්ධනය පිළිඳව විශාල බලාපොරොත්තු තැබුවා. ඉන්පසුව ඉදිකිරීම් කර්මාන්තයේ විශාල වර්ධනයක් තිබුණා. නමුත් ඒ සෑම ඉදිකිරිමක් පිටුපසම තිබුණේ වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ සාධකයයි. ඒ නිසා අපට හයිවේ එක, ගුවන් යානාවක් පැමිණෙන විට ප්‍රවෘත්තියක් වන ගුවන් තොටුපළ අපට බරක් වෙලා තිබෙනවා. නැවත කොවිඩ් වසංගතයෙන් පසු ඇන්ටිජන් ගනුදෙනු, වැක්සින් ගනුදෙනු ගැන අසන්න ලැබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇති කර තිබෙනවා. ණයක් ලබාගන්නා විට රතිඤ්ඤා පත්තු කිරීමෙන් පෙනෙන්නේත් අපේ රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයේ තරමයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම පිළිබඳ නැවත සාකච්ඡාවක් පැමිණ තිබෙනවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා ටෙලිකොම් ආයතනය ගැන. රජය සතුව ටෙලිකොම් ආයතනයේ 49%ක කොටස් තිබෙනවා. 2022 බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 12,000යි. සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 200යි. අපට බිලියන 98ක රාජ්‍ය වත්කමක් තිබෙනවා. ලංකා හොස්පිට්ල් රාජ්‍ය වත්කමක් සහ ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකිව තිබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ ආර්ථිකය පවතින්නේ නීත්‍යානුකූල ආර්ථිකයත් කළු ආර්ථිකයක් යන දෙක එකටමයි. එය මොනතරම් සමාජ ගතවී ඇත්ද යන්න ‘මහින්ද රාජපක්ෂ මහත්තයා සංවර්ධනය කරලනේ හොරකම් කළේ’ යන ප්‍රකාශයෙන් පේනවා. දූෂණයෙන් තොරවූ රාජ්‍යයක් ගැන සිතන්න පවා අපහසුයි. පසුගියදා පුවත්පතකට නාමල් රාජපක්ෂ “අල්ලස, දූෂණය නතර කළොත් අපේ රට වැටෙනවා” යනුවෙන් ප්‍රකාශයක් කර තිබුණා. වංචා, දූෂණ, අවම වූ රාජ්‍යයක් පිළිබඳ සිහින මවන්නට බැරි තරමට සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. එය අපේ රටේ අනිවාර්ය සාධකයක් බවට පත්වී තිබෙනවා. එය ඉවත් කරනවා යැයි කීම මනෝරාජික අදහසක් බවට පත්වෙලා. අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට අපේ ආර්ථික ප්‍රතිපත්ති වගේම, වංචාව, දූෂණය, අල්ලසත් ප්‍රධාන පංගුවක් වෙලා තිබෙනවා.
ආර්ථිකය ගොඩනැගීම යථාර්ථයක් බවට පත්කිරීමේදී එය කළ හැකි වන්නේ වංචාව, දූෂණය, අල්ලස අහෝසි කරන රාජ්‍යයක් නිර්මාණය කිරීමෙන් පමණයි. එතනදී ගණකාධිකාරීවරුන්ට විගණකාධිපතිවරුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආර්ථික තීන්දු තීරණ ගන්නා, උපායමාර්ගික ලෙස වැදගත් ආයතනවල පූර්ණ විගණනයක් අවශ්‍යයි. ඒ වගේම ඒ ක්‍රියාවලිය විමර්ශනය කරන විගණනයක් අවශ්‍යයි. විගණන දෙපාර්තමේන්තුවේ තීන්දුව, අභියෝගයට ලක් නොවෙන, නිරවද්‍ය, බරසාර තීන්දුවක් විය යුතුයි. වරදක් කරන ලද නිලධාරියෙකුට තීන්දුව මත ඉල්ලා අස්වීමට සිදුවන තීන්දුවක් විය යුතුයි. එහෙම කරන්න තාක්ෂණික පැත්ත ඇතුළත් විය යුතුයි. තාක්ෂණික කමිටුව යම් නිශ්චිත සැපයුම්කරුවෙකු ඉලක්ක කොටගෙන අවශ්‍ය පිරිවිතර සකසනවා. ඒවා විගණනයට ලක් වෙන්නේ කොහොමද? ඒ සඳහා තාක්ෂණ හැකියාව ඇති කණ්ඩායම් මේ තුළ සිටිය යුතුයි. උදාහරණයක් ලෙස, ඖෂධ ගෙන්වීමේදී ඒවා අපේක්ෂා කරන ගුණාත්මක, හා අත්‍යවශ්‍ය ඖෂධද යන්න මනින්නේ කෙසේද? මේ විගණනය තවත් ශක්තිමත් කරන්න නම් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් සහිත කණ්ඩායම් ඒ තුළ සිටිය යුතුයි. නීතිඥ කණ්ඩායම්ද සිටිය යුතුයි කියා මම සිතනවා.
විගණන දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරය වන්නේ විගණනය කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. අපි සත්‍යය මත පදනම්ව වාර්තා හදනවා නම් අපි බිය විය යුතු නැහැ. පාර්ලිමේන්තුවට පමණක් නොවෙයි, අල්ලස් කොමිසමටත් යැවිය යුතුයි. අල්ලස් කොමිසමේ පරීක්ෂණ යනවා නම් එයට අපි සහාය දිය යුතුයි. සමහර ඒවා පිළිබඳව නඩු පැවරීමේ බලය පවා විගණන දෙපාර්තමේන්තුවට තිබෙනවා. මේ රට මේ ඛේදවාචකයෙන් මුදා ගැනීමේ අත්හළ නොහැකි වගකීමක් අප සතුව තිබෙනවා. වංචාව දූෂණය යථාර්ථයක් ලෙස සලකන රටක, උපතේ සිට මරණය දක්වා මිනිසාගේ සෑම ක්‍රියාවලියත් එක්කම අල්ලස දූෂණය නාස්තිය බද්ධ වී ඇති රටක මෙය අභියෝගයක්. නමුත් මේ වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම පිළිබඳව හිතන්නවත් බැහැ.යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.