09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
ඒ් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිත අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙනු ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව ජනවාරි 19 වැනිදා ප.ව 1.00 සිට ප.ව 6.00 දක්වා ද ජනවාරි 20 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා ද රජය ගෙන එන යෝජනාවකට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.
ජනවාරි 21 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.
ඉන් අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.