නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ ‘උපාධිධාරී ව්‍යවසායක උදානය‘ වැඩසටහනට සහභාගි වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය” අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය‘ ඉල්ලා සිටීවි. දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.
දැන් රජරට විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන පර්යේෂණවලින් සනාථ වූ පසු තව දින 3කින් එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි වේවි. එමඟින් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?‘ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි.
මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස දැක්වූහ. අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.