තෝමස් ද වොල්ෆ් නම් පරිගණක ඉංජිනේරුවරයා විසින් නිපදවන ලද විශේෂ චලන සංවේදක (motion-sensing) සහිත මෝටර් රථයක් පදවමින් ‘බ්ලබ්’ (Blub) නම් රන් මත්ස්‍යයා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ඉතාලියේ රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදු කළ මෙම අත්හදා බැලීමේදී, ජල ටැංකිය තුළ මත්ස්‍යයා පිහිනන දිශාව හඳුනාගෙන ඒ අනුව රථයේ රෝද ක්‍රියාත්මක වන තාක්ෂණයක් භාවිතා කර ඇති අතර මිනිත්තුවක් ඇතුළත රන් මත්ස්‍යයෙකු විසින් මෝටර් රථයකින් ගමන් කළ වැඩිම දුර ලෙස මෙය ගිනස් වාර්තා පොතට එක් විය.
විනාඩියක කාලයක් තුළ බ්ලබ් මත්ස්‍යයා අඩි 40යි අඟල් 3.46ක (මීටර් 12කට වැඩි) දුරක් ගමන් කිරීමට සමත් වූ අතර එය වාර්තාවක් තැබීම සඳහා අවශ්‍යව තිබූ අඩි 16ක දුර මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. තෝමස් ද වොල්ෆ් සඳහන් කරන්නේ තම වෘත්තීය තාක්ෂණය විනෝදජනක අයුරින් ලොවට පෙන්වීම මෙම නිර්මාණයේ අරමුණ වූ බවයි. ගිනස් විනිසුරු සෝෆියා ග්‍රීන්ඒකර් විසින් රෝදවල සලකුණු පදනම් කර ගනිමින් මෙම දුර නිශ්චිතව මැන බලා වාර්තාව තහවුරු කරන ලදී.














