මරණ දඬුවම නියම වී සිරගතව සිටියදී බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතා විසින් සමාව දී නිදහස් කරනු ලැබූ පුද්ගලයින් තිදෙනෙකු මෙවර බංග්ලාදේශ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇත. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය නියෝජනය කරමින් ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.
මෙලෙස පාර්ලිමේන්තු වරම් දිනාගත් පිරිස අතර 2004 වසරේදී ෂෙයික් හසීනා ඉලක්ක කරගත් අත්බෝම්බ ප්‍රහාරයට වැරදිකරු වූ ලුට්ෆොසාමන් බාබාර් (Lutfozzaman Babar) සහ ඉන්දියාවේ ප්‍රහාර ගණනාවකට සම්බන්ධ පාකිස්ථාන හුජි (HuJI) ත්‍රස්ත කණ්ඩායමට සහාය දුන් බවට චෝදනා ලැබූ අබ්දුස් සලාම් පින්ටු (Abdus Salam Pintu) යන දෙදෙනා ප්‍රධාන වේ. මීට අමතරව 1971 විමුක්ති යුද්ධයේදී පුද්ගල ඝාතන 1,200කට අධික සංඛ්‍යාවකට සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වගකිව යුතු බවට හඳුනාගෙන 2014 දී මරණ දඬුවම නියම වූ අසාරුල් ඉස්ලාම් (Azharul Islam) ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් මහතා විසින් මොවුන්ට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් නිදහස් කර සමාව ලබා දීමෙන් පසු මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි විය. බංග්ලාදේශ දේශපාලනයේ මෙම නව හැරවුම කලාපීය ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














