ටික්ටොක් (TikTok) වීඩියෝවක් දැකීමෙන් පෙළඹී, නිසි සූදානමකින් තොරව කඳු නැගීමට ගොස් අතරමං වූ දෙදෙනෙකු බේරාගැනීමේ පුවතක් මුල් කරගනිමින් කඳුකර ප්‍රදේශවල සංචාරය කිරීමේදී ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරෙන්නේ කාටද යන මාතෘකාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
එංගලන්තයේ සහ වේල්සයේ කඳුකර මුදාගැනීමේ බලකායේ (Mountain Rescue England and Wales) ප්‍රධාන විධායක නිලධාරී මයික් පාක් (Mike Park) පවසන්නේ මෑතකදී ලේක් දිස්ත්‍රික්කයේ (Lake District) සිදුවූ මෙවැනිම සිදුවීමක් තමන්ට අත්දකින්නට ලැබුණු බවයි. එහිදී වයස අවුරුදු 20ක සහ 30ක පමණ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ටික්ටොක් ඔස්සේ දුටු මාර්ගයක් ඔස්සේ කඳු නැගීමට ගොස් තිබුණේ කොට කලිසම් සහ ටී-ෂර්ට් පමණක් ඇඳගෙන, අතේ විදුලි පන්දමක් හෝ නොමැතිවයි. ඔවුන් ගමන ආරම්භ කර තිබුණේද පස්වරු 2.00ට පසුවය.
අවසානයේ රාත්‍රී 8.00 වන විට දැඩි අඳුර සහ තමන් නොදන්නා භූමියක අතරමං වීම නිසා ඔවුන් සහන සේවා අමතා උදව් ඉල්ලා තිබුණි. මයික් පාක් පෙන්වා දෙන්නේ වර්තමානයේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වන දර්ශනීය ස්ථාන නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා අවට පරිසරය, කාලගුණය හෝ තමන් යා යුතු මාර්ගය පිළිබඳව කිසිදු අවබෝධයකින් හෝ පෙර සූදානමකින් තොරව පැමිණීම නිසා මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි.














