මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට උද්ගතව ඇති බලශක්ති සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත දැඩි ලෙස විවේචනය කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද (17) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඒ මහතා අවධාරණය කළේ රජය යුද්ධයට මුවාවී තෙල් මිල ඉහළ දැමීම සහ බදු අය කිරීම හරහා ජනතාව හූරාගෙන කෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
තෙල් මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට මිල වැඩි කිරීමට අලුත් මිලට තෙල් නැව් කිසිවක් මෙතෙක් පැමිණ නොමැති බවයි. රජය වරායේදී තෙල් ලීටරයකින් රුපියල් 120 ක බද්දක් අය කරන බවත්, අනෙකුත් රටවල් මෙවැනි අවස්ථාවලදී බදු සහන ලබා දෙද්දී වත්මන් රජය භාණ්ඩාගාරය පිරවීමට ජනතාව පීඩාවට පත් කරන බවත් ඔහු පැවසීය. QR ක්‍රමය පිළිබඳව එදා දැඩි විවේචන එල්ල කළ NPP නායකයින් අද එම ක්‍රමයේම ගැටලුවලට මැදිවී සිටීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය.
විදුලි බිල වැඩි කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව ද අත්තනායක මහතා මෙහිදී අදහස් පළ කළේය. ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් ලැබෙන බැවින් තෙල් මිල මීට බලපාන්නේ අඩුවෙන් බවත්, නොරොච්චෝල බලාගාරයේ පවතින ගැටලුවලට සැබෑ හේතුව ගල්අඟුරු වංචාව බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය මැදපෙරදිග අර්බුදය පෙන්වා ගල්අඟුරු වංචාව වසා ගැනීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.
ආර්ථිකය සම්බන්ධයෙන් රජය පවසන කරුණු අසත්‍ය බව පැවසූ ඒ මහතා, වත්මන් විදේශ සංචිතවලින් වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉතිරි වූ ඒවා බවත් වත්මන් රජය උපයා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් පැවසීය. එදා කොවිඩ් අර්බුදය වැනි ගෝලීය ව්‍යසනයක් සහ වර්තමාන මැදපෙරදිග අර්බුදය එක හා සමානව සංසන්දනය කිරීම අනුවණ ක්‍රියාවක් බව පෙන්වා දුන් ඔහු, රජය කිසිදු නිසි ක්‍රමවේදයකින් තොරව අයාලේ යන බවට ද දැඩි ලෙස විවේචනය කළේය.















