වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටේ පාලන කටයුතු නිසි ලෙස ඉදිරියට කරගෙන යාමට නොහැකි වුවහොත්, එහි වගකීම භාර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. පවතින ආර්ථික සහ සමාජීය අර්බුද හමුවේ වත්මන් පාලනයට වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත්, ඒ අනුව 2029 වසරට පෙර ජනාධිපති ධුරයේ වෙනසක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකු බැවින්, රටේ ආර්ථිකය කඩා වැටුණු ඕනෑම මොහොතක නැවත වරක් “කොටේ ඇදීමට” ඔහු ඉදිරිපත් වීමේ හැකියාව පවතින බව මන්ත්‍රීවරයාගේ මතයයි.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය පිළිබඳව ද අදහස් දැක්වූ කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඔහු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ඡන්දයකින් මිස මෙවැනි අතුරු පාලනයක් හරහා නොවන බවයි. ඒ සඳහා සුදුසුම කාලය 2029 වසර බව ඔවුන් විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය. මීට අමතරව, රාජපක්ෂවරුන් උගන්ඩාවේ මුදල් සඟවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජයට අභියෝග කළ මන්ත්‍රීවරයා, අවම වශයෙන් රුපියලක හෝ හොරකමක් ඔප්පු කළහොත් තමන් එදිනට රාජපක්ෂ කඳවුරෙන් ඉවත් වන බව ද වැඩිදුරටත් කියා සිටියේය. වත්මන් රජයට එම චෝදනා ඔප්පු කිරීමට තවමත් නොහැකි වී ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
















