උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම ඉරානය සමඟ පැවැති යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානයේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඊළඟ පියවර ප්‍රකාශයට පත් කර තිබේ. ඉරිදා උදෑසන සිය ‘Truth Social’ ගිණුමේ සටහන් කිහිපයක් තබමින් ඔහු කියා සිටියේ ඉරානයට එරෙහිව නාවික අවහිරතාවයක් (Naval Blockade) ක්‍රියාත්මක කරන බවයි. “නීතිවිරෝධී ලෙස බදු ගෙවන කිසිවෙකුට මහ මුහුදේ ආරක්ෂිත ගමනාගමනය හිමි නොවන” බව ඔහු එහිදී අවධාරණය කළේය.
සාම සාකච්ඡා අතරතුර යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට ඉරානය එකඟ නොවීම නිසා මෙම තීරණය ගත් බව ට්‍රම්ප් පවසයි. එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දිගටම කරගෙන යන බවත් සුදුසු මොහොතකදී ඉරානයට එරෙහි ප්‍රහාර යළි ආරම්භ කිරීමට ඇමරිකානු හමුදාව සීරුවෙන් සිටින බවත් (Locked and Loaded) ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
උතුරු ඇමරිකානු වාර්තාකරු ඇන්තනි සර්චර් පෙන්වා දෙන්නේ පසුගිය සතියේ සිදු කළ දැඩි තර්ජනවලට වඩා මෙවර ට්‍රම්ප්ගේ ප්‍රකාශය සංයමයකින් යුක්ත වුවද ඉන් මතු කරන ප්‍රායෝගික අභියෝග සහ අවදානම් ඉතා ඉහළ බවයි. විශේෂයෙන්ම නාවික අවහිරතාවයක් වැනි පියවරක් ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර නීතිය සහ අනෙකුත් රටවල් සමඟ ඇති සබඳතා කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇත.













