ඉරානය සමඟ පවතින යුද්ධය සඳහා අවශ්‍ය මිසයිල සහ අනෙකුත් යුධෝපකරණ තොග ඇමෙරිකාව සතුව සීමා රහිතව පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අවශ්‍ය මිසයිල (Interceptors) අවසන් වෙමින් පවතින බවට වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත කළ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ, ඇමෙරිකාවේ යුධෝපකරණ ගබඩා මීට පෙර කිසිදා නොවූ විරූ මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි.
මධ්‍යම සහ ඉහළ මධ්‍යම මට්ටමේ ආයුධ සැපයුම සීමා රහිත බවත්, එම ආයුධ පමණක් භාවිතා කරමින් වුවද ඕනෑම යුද්ධයක් සදාකාලිකව මෙන්ම සාර්ථකව පවත්වාගෙන යාමට ඇමෙරිකාවට හැකියාව පවතින බවත් ට්‍රම්ප් අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉහළම තාක්ෂණයෙන් යුත් ආයුධ (Highest end) සම්බන්ධයෙන් තවදුරටත් වර්ධනයන් අවශ්‍ය බව ඔහු පිළිගත්තේය. මෙහිදී ඔහු හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට දැඩි ලෙස විවේචනය කළ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිව “පී. ටී. බානම්” (P.T. Barnum) ලෙස හඳුන්වමින් චෝදනා කළේ බයිඩන් විසින් ඇමෙරිකානු ආයුධ සහ මුදල් බිලියන ගණනින් යුක්රේනයට “නොමිලේ” ලබා දුන් බවයි.
තමාගේ පළමු ධුර කාලය තුළ ඇමෙරිකානු හමුදාව යළි ශක්තිමත් කළ බවත්, ඕනෑම යුද්ධයක් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, තවත් ඉහළ පෙළේ යුධෝපකරණ රැසක් ඇමෙරිකාවට මිත්‍ර වෙනත් රටවල රහසිගතව ගබඩා කර ඇති බව ද ට්‍රම්ප් අනාවරණය කළේය.














