ඉරානය සමඟ පවතින යුදමය උණුසුම හමුවේ ජාතිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) පිළිබඳව අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. “අපට එය අවශ්‍ය නැහැ, අපට එය කවදාවත් අවශ්‍ය වුණෙත් නැහැ” යනුවෙන් පවසමින් ඔහු අවධාරණය කළේ ඇමෙරිකාව එම මුහුදු මාර්ගය හරහා තෙල් ආනයනය නොකරන බවයි.
සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම එයින් තෙල් ලබාගන්නා සෙසු රටවල් විසින් භාරගත යුතු බව ට්‍රම්ප් මෙහිදී පෙන්වා දුන්නේය. “ලෝකයේ අනෙකුත් රටවල් එම මාර්ගයට ගොස් එය අත්පත් කරගෙන ආරක්ෂා කරගත යුතුයි” යනුවෙන් පැවසූ ඔහු, ඒ සඳහා ඇමෙරිකාවේ සහාය ලබා දෙන නමුත් මූලිකත්වය අනෙක් රටවල් ගත යුතු බව ප්‍රකාශ කළේය. එමෙන්ම අනෙකුත් රටවලට තම රටෙන් (ඇමෙරිකාවෙන්) තෙල් මිලදී ගන්නා ලෙස ද ඔහු යෝජනා කර සිටියේය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලනයේ (EIA) දත්තවලට අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තවමත් යම් ප්‍රමාණයක තෙල් ආනයනයක් ඇමෙරිකාව සිදු කරන බැවින් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දත්ත සමඟ පරස්පර වන බව විචාරකයෝ පෙන්වා දෙති. ඉරානය යුදමය සහ ආර්ථිකමය වශයෙන් සම්පූර්ණයෙන්ම අඩපණ කර ඇති බවත්, තමන්ට සහාය නොදුන් රටවල් දැන්වත් ධෛර්යවන්තව ඉදිරියට පැමිණිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














