ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) තවදුරටත් වසා දමා තිබියදීම ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් කිරීමට කැමැත්ත පළ කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි. ජනාධිපතිවරයා සිය උපදේශකයින්ට පවසා ඇත්තේ මෙම සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ මෙහෙයුම පසු දිනකට කල් තබා වත්මන් ගැටුම් නිමා කිරීමට තමන් සූදානම් බවයි.
මෙම තීරණයට හේතු වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීමට යාමෙන් තමන් සැලසුම් කළ සති 4ත් 6ත් අතර කාලසීමාව ඉක්මවා යුද්ධය ඇදී යා හැකි බවට ජනාධිපතිවරයා සහ ධවල මන්දිර නිලධාරීන් සිදුකළ තක්සේරුවයි. ඒ අනුව ඉරාන නාවික හමුදාව සහ මිසයිල ගබඩා අඩපණ කිරීමේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් පසු හමුදාමය ක්‍රියාමාර්ග නවත්වා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉරානයට බලපෑම් කර වෙළඳ කටයුතු සඳහා සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමට ඇමෙරිකාව බලාපොරොත්තු වේ.
එම රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුවහොත්, සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ වගකීම යුරෝපයේ සහ ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් වෙත පැවරීමට වොෂින්ටනය සැලසුම් කර ඇති බව ද එම වාර්තාවේ දැක්වේ. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් ද ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළේ මෙම හමුදා මෙහෙයුම සඳහා ජනාධිපතිවරයා මුල සිටම ලබාදී තිබුණේ සති 4ත් 6ත් අතර කාලයක් පමණක් බවයි.














