ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසන්නේ ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්වන ඕනෑම අයෙකුට වොෂින්ටනයේ අනුමැතිය අවශ්‍ය බවයි. ඇමරිකානු අනුමැතියකින් තොරව එම ධුරයට පත්වන පුද්ගලයෙකුට වැඩි කාලයක් බලයේ රැඳී සිටීමට ඉඩ නොදෙන බවට ඔහු ඉරිදා (08) අනතුරු ඇඟවීමක් කළේය.
පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු එල්ල වූ ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි (Ali Khamenei) මිය ගිය අතර, ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) නව උත්තරීතර නායකයා ලෙස තේරී පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ වාර්තා කළේය. මීට පෙර ABC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අනාගතයේදී යළිත් මෙවැනි යුදමය තත්ත්වයකට මුහුණ දීමට හෝ ඉරානයට න්යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ තැබීමට තමන් සූදානම් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මෙම ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවයි. මේ අතර, සවුදි අරාබියේදී තුවාල ලබා සිටි තවත් ඇමරිකානු සෙබළෙකු මිය යාමත් සමඟ යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා මිය ගිය ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්ටගනය තහවුරු කළේය. මේ වන විට ඉරානයේ සිවිල් වැසියන් 1,332ක් මිය ගොස් ඇති බව ද වාර්තා වේ.














