ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විවේචනය කරන සියලුම රටවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි පිළිතුරක් ලබා දී තිබේ. යුද මෙහෙයුම් සඳහා සහාය නොදක්වන මිත්‍ර රටවලට “තමන්ගේ තෙල් තමන්ම සොයාගන්න” යැයි පවසා ඇති ජනාධිපතිවරයා හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම ඇමරිකාවේ වගකීමක් නොවන බව ද අවධාරණය කළේය. මැදපෙරදිග තෙල් ප්‍රවාහනය කරන ප්‍රධාන මුහුදු මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමේ වගකීම එය භාවිතා කරන ප්‍රංශය වැනි රටවල් සතු බව ඔහුගේ මතයයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 45%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඇමරිකාවේ ඉන්ධන මිල ද වාර්තාගත ලෙස වැඩි වී තිබේ. යුද්ධය සඳහා සහාය නොදක්වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වැනි රටවල් තමන් වෙනුවෙන් සටන් කිරීමට ඉගෙන ගත යුතු බවත් මින් ඉදිරියට ඇමරිකාවේ සහාය ඔවුන්ට නොලැබෙනු ඇති බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දන්වා ඇත. විශේෂයෙන්ම ඊශ්‍රායලයට ආයුධ රැගෙන යන ගුවන් යානාවලට ප්‍රංශය සිය ගුවන් සීමාව ලබා නොදීම ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මේ අතර යුද්ධය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින අතර ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් අහස සිසාරා මහා ගිනි බෝල මතු වූ බව වාර්තා වේ. යුද්ධය ආරම්භ වී මාසයකට වැඩි කාලයක් ගතවන විට දෙපාර්ශ්වයේම 3,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් වී සිටිති. ඇමරිකාව සිය තෙවැනි ගුවන් යානා වාහක නෞකාව ද මැදපෙරදිග කලාපයට යොමු කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ යුද්ධයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














