හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) තුළ නාවික බෝම්බ අටවා ඇති බවට ලැබෙන වාර්තා හමුවේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත සිය මෙතෙක් දැඩිම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, කිසියම් හෙයකින් එම බෝම්බ වහාම ඉවත් නොකළහොත් ඉරානයට මින් පෙර කිසිදා අත්නොවිඳි මට්ටමේ දරුණු හමුදාමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති මෙම තර්ජනය වහාම නතර කරන ලෙස ඔහු මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානය විසින්ම එම බෝම්බ ඉවත් කිරීමට පියවර ගන්නේ නම් එය යහපත් ප්‍රවණතාවක් වනු ඇති බවයි. එසේ නොමැතිව එම මුහුදු මාර්ගයේ බෝම්බ ඇටවීමට උත්සාහ කරන ඕනෑම නාවික යාත්‍රාවක් ස්ථිර ලෙස විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව භාවිතා කරන නවීන මිසයිල තාක්ෂණය යොදා ගන්නා බවද ඔහු අනතුරු ඇඟවීය. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා අමෙරිකාව ඕනෑම මොහොතක ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්, මේ පිළිබඳව ඉරානය දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් ඔහු සිය පණිවිඩය හරහා දන්වා සිටියි.















