අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය “රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ දේශනය” (State of the Union address) පවත්වමින් ලෝකයේ අනෙකුත් රටවල් මත පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය දැඩි ලෙස සාධාරණීකරණය කළේය. පැය 1යි විනාඩි 48ක් පුරා කොංග්‍රසය අමතා සිදුකළ මෙම දේශනයේදී ඔහු ප්‍රකාශ කළේ, මෙම තීරුබදු අයකර ගැනීම හරහා ලැබෙන ආදායම උපයෝගී කරගනිමින් අමෙරිකානු ජනතාව මත පටවා ඇති ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි. මෙය ජනතාවට වාසි සහගත වන “යුගයකට සරිලන පෙරළියක්” බව හෙතෙම අවධාරණය කළේය. එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමට ප්‍රධානතම හේතුව මෙම බදු ප්‍රතිපත්තිය බව පැවසූ ට්‍රම්ප්, මීට පෙර පනවා තිබූ දැඩි ආනයන බදු ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මෙහිදී යළිත් වරක් සිය විවේචනයට ලක් කිරීමටද අමතක නොකළේය.














