අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ඉරානය සමඟ පවතින යුද්ධය තවත් සති දෙක තුනකින් අවසන් විය හැකි බවට ඉඟි පළ කළද, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) අද (01) ප්‍රකාශ කළේ ඉරාන පාලනය “තලා දැමීමේ” මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර පවතින මතගැටුම මෙයින් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද ඕවල් කාර්යාලයේ (Oval Office) මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකාව ඉතා ඉක්මනින් ඉරානයෙන් ඉවත් වන බවත්, ලෝක ආර්ථිකයට වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම අනෙකුත් රටවලට පැවරෙනු ඇති බවත්ය. “අපි වැඩේ ඉවර කරලා සති දෙක තුනකින් එළියට එනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, “මෙම සටන තවම අවසන් නැහැ, අපි ත්‍රස්තවාදී පාලනය දිගටම විනාශ කරනවා,” යනුවෙනි. ඉරානය ද යුද්ධය අවසන් කිරීමට යම් කැමැත්තක් පළ කර ඇති පසුබිමක, නෙතන්යාහුගේ මෙම දැඩි ස්ථාවරය කලාපීය සාමය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතු කර තිබේ. පසුගිය මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ හදිසි ප්‍රහාරවලින් පසු පැන නැගුණු මෙම යුදමය වාතාවරණය දැන් බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා ව්‍යාප්ත වී තිබේ.














