ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යය දැක්වූ මන්දගාමී ප්‍රතිචාරය විවේචනය කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අගමැති කෙයර් ස්ටාර්මර් වෙත දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. බ්‍රිතාන්‍යය විසින් සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් මැදපෙරදිග කලාපයට එවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව පැවසීමත් සමඟ ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ තැබූ සටහනක සාරාංශය මෙසේය. වරෙක ඇමෙරිකාවේ ශක්තිමත්ම මිතුරා වූ බ්‍රිතාන්‍යය, යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු සහාය වීමට පැමිණීම පලක් නොමැති බව ඔහු සඳහන් කළේය. “අගමැති ස්ටාර්මර්, දැන් අපට ඒ නෞකා අවශ්‍ය නැහැ. නමුත් අපි මේ සිදුවීම මතක තබා ගන්නවා. අපි දැනටමත් ජයග්‍රහණය කළාට පස්සේ යුද්ධයට එකතු වන අය අපට අවශ්‍ය නැහැ” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබේ.
මෙම අර්බුදය හටගත්තේ ඉරානයට පහර දීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට ලන්ඩනය මුලින් අවසර ලබා නොදීමත් සමඟය. මෙම තීරණය හේතුවෙන් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පළුදු වී ඇති බවට ට්‍රම්ප් මීට පෙර ද චෝදනා කළේය. බ්‍රිතාන්‍යය දැන් සිය ස්ථාවරය වෙනස් කරමින් යුද නෞකා එවන බව පැවසුවද, ඇමෙරිකානු ජනාධිපතිවරයා එය සැලකිල්ලට නොගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව ඇත.














