ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් මෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශකයින් අතර පැවති පෞද්ගලික සාකච්ඡාවලින් පසුව, එරට ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) දැඩි ප්‍රතිපත්ති යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමට ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව ‘Wall Street Journal’ වාර්තා කරයි. විශේෂයෙන්ම ඉදිරි අතුරු මැතිවරණ ඉලක්ක කරගනිමින්, “සමූහ පිටුවහල් කිරීම්” (Mass Deportations) වැනි දැඩි ක්‍රියාමාර්ග ඡන්දදායකයින් අතර අප්‍රසාදයට පත්වනු ඇතැයි ට්‍රම්ප් පරිපාලනය සැක පළ කරන බව එම වාර්තාවේ සඳහන් වේ.
මෑතකදී මිනියාපොලිස් ඇතුළු නගර කිහිපයක ICE වැටලීම් අතරතුර පුද්ගල මරණ වාර්තා වීම සහ බිහිරි දරුවෙකු ඇතුළු පවුලක් පිටුවහල් කිරීම වැනි සිදුවීම් හේතුවෙන් රජයට එල්ල වූ දැඩි විවේචන මෙම තීරණයට බලපා ඇති බව පෙනේ. ඒ අනුව, මහා පරිමාණ වැටලීම් වෙනුවට අපරාධවලට සම්බන්ධ “දුෂ්ටයන්” (Bad Guys) පමණක් ඉලක්ක කරගත් සීමිත මෙහෙයුම් සඳහා ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දක්වන බව පැවසේ. දත්ත වලට අනුව, දෛනික අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව ද 1,500 සිට 1,200 දක්වා මේ වන විට පහත වැටී ඇත. කෙසේ වෙතත්, ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ පරිපාලනයේ ආගමන විගමන න්‍යාය පත්‍රයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි.














