ඉරාන-ඇමෙරිකානු යුද ගැටුම් මැදපෙරදිග පුරා ව්‍යාප්ත වෙද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තමන් සතු දකුණු කොරියානු නිෂ්පාදිත Cheongung-II මිසයිල නාශක පද්ධතියේ සාර්ථකත්වය ලෝකයටම ඔප්පු කර පෙන්වා තිබේ. පසුගිය සතිය පුරා ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් 96%ක්ම සාර්ථකව විනාශ කිරීමට මෙම පද්ධතිය සමත් වූ බව දකුණු කොරියානු ආරක්ෂක කමිටු වාර්තා තහවුරු කරයි. මෙම සුවිශේෂී දක්ෂතාව හේතුවෙන්, තමන් ඇණවුම් කර ඇති ඉතිරි මිසයිල බැටරි කඩිනමින් ලබා දෙන ලෙස එමීර් රාජ්‍යය දකුණු කොරියාවෙන් හදිසි ඉල්ලීමක් කර ඇත.
දකුණු කොරියාව සහ එමීර් රාජ්‍යය අතර 2022 වසරේදී අත්සන් කරන ලද ඩොලර් බිලියන 3.5ක ගිවිසුමකට අනුව දැනටමත් බැටරි දෙකක් ක්‍රියාත්මක මට්ටමේ පවතින අතර, යුද වාතාවරණය හමුවේ ඉතිරි බැටරි නියමිත කාලයට පෙර ලබා දීමට දකුණු කොරියාව උත්සාහ කරමින් සිටී. මෙම මිසයිල පද්ධතියේ ඇති ඉහළ නිරවද්‍යතාවය නිසා සෞදි අරාබිය සහ ඉරාකය ද මේ වන විට බිලියන ගණනක ඇණවුම් ලබා දී තිබේ. ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයෙන් පසු ඇවිළී ගිය මෙම කලාපීය යුද්ධය හමුවේ, සිවිල් ගුවන් තොටුපළ සහ හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වන ඉරාන ප්‍රහාරවලින් ඩුබායි සහ අබුඩාබි නගර බේරා ගැනීමට මෙම දකුණු කොරියානු “මිසයිල පලිහ” තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.













