එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින නමුත්, තම රටේ ස්වෛරීභාවයට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව සටන් කිරීමට පූර්ණ සූදානමකින් පසුවන බව එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක ආචාර්ය අන්වර් ගර්ගාෂ් (Dr. Anwar Gargash) ප්‍රකාශ කර තිබෙනවා. සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ තම රට කිසිවිටෙකත් ආක්‍රමණිකයෙකු ලෙස කටයුතු කර නොමැති බවයි.
පසුගිය දින කිහිපය තුළ පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්‍රහාර 1,000කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති බවත්, එය යුදමය ඉතිහාසයේ පවා පෙර නොවූ විරූ තත්ත්වයක් බවත් ඔහු අනාවරණය කළා. ඉරානය මෙවැනි ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවූ බව පැවසූ ගර්ගාෂ් මහතා, මෙම ප්‍රහාර හමුවේ රටේ නොසැලෙන අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් වන බව පවසා සිටියා.
යුද්ධය වැළැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උපරිම උත්සාහයක් ගත් බවත්, වර්තමාන තත්ත්වය හමුවේ ඉරානය ජාත්‍යන්තර වශයෙන් හුදකලා වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම, රටේ ගුවන් සීමාව සහ භූමිය ආරක්ෂා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදා සහ ගුවන් ආරක්ෂක ඒකක දක්වන වීරෝදාර දායකත්වය අගය කරමින් ඔහු සිය ‘X’ ගිණුමේ විශේෂ සටහනක් ද තබා තිබෙනවා.















