ඇමෙරිකාව සහ ඉශ්‍රායලය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එම ප්‍රහාරවලින් එරට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිනවීන ගුවන් ආරක්ෂක පද්ධති (Air Defences) ක්‍රියාත්මක වෙමින් පවතී. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 1,700 කට අධික ප්‍රමාණයක් මේ වන විට සාර්ථකව විනාශ කිරීමට එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ සමත්ව ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය (MoD UAE) නිකුත් කළ නවතම දත්තයන්ට අනුව ඊයේ (මාර්තු 12) දිනය තුළ පමණක් ඉරානයෙන් එල්ල වූ බැලිස්ටික් මිසයිල 10 ක් සහ ඩ්‍රෝන යානා 26 ක් ගුවනේදීම විනාශ කිරීමට එරට ආරක්ෂක පද්ධති සමත් වී තිබේ. යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා බැලිස්ටික් මිසයිල 278 ක් ක්‍රෲස් මිසයිල 15 ක් සහ ඩ්‍රෝන යානා 1,540 ක් ඇතුළු සමස්තයක් ලෙස ප්‍රහාර 1,700 කට අධික ප්‍රමාණයක් මෙලෙස මැඩපවත්වා ඇති බව නිල වාර්තා සනාථ කරයි.
මෙම ප්‍රහාරයන්ගෙන් එල්ල වූ සුන්බුන් පතිත වීම හේතුවෙන් මේ වන විට එමීර් රාජ්‍යය තුළ විදේශිකයන් හය දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 131 දෙනෙකු සුළු හා මධ්‍යම ප්‍රමාණයේ තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව වාර්තා වන අතර ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ඊජිප්තුව වැනි රටවල වැසියන් ද මේ අතර වේ. ඩුබායි සහ අබුඩාබි වැනි ප්‍රධාන නගරවල ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය උපරිම උත්සාහයක නිරත වන අතර ජනතාවට නිල තොරතුරු මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස බලධාරීන් දැනුම් දෙයි














