අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ (University College Dublin) ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ අතිශය පෞද්ගලික ඡායාරූප පෙළක් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ විද්‍යුත් තැපැල් (Emails) සහ විශාල වට්ස්ඇප් (WhatsApp) සමූහයන් වෙත යොමු කිරීමට එරෙහිව පසුගිය බදාදා දහස් සංඛ්‍යාත සිසුන් පිරිසක් දැවැන්ත විරෝධතාවක නිරත වූහ. ලිංගික ප්‍රචණ්ඩත්වයට සහ සයිබර් හිරිහැරවලට ලක්වූවන් සමඟ සහයෝගීතාවය පළ කිරීම සඳහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
මෙහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ මෙවැනි බරපතල ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, වින්දිතයන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සහ සහය ලබා දිය යුතු බවත්ය. මෙම පුවත වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් බ්ලැක්මේල් කිරීමේ අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම අතිශය කණගාටුදායක එකක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අයර්ලන්ත පොලිසිය (Gardaí) පවත්වන පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබා දෙන බවත්ය. වින්දිත ශිෂ්‍යාව පත්ව ඇති දැඩි මානසික පීඩනය පිළිබඳව තමන් සංවේදී වන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.















