අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ දිවි බේරාගත් උගන්ඩා සිසුන් 43 දෙනෙකු එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ආරක්ෂිතව සිය මවුබිම වෙත පැමිණ තිබේ. යුද බියෙන් වෙලී තිබූ ටෙහෙරාන් නුවරින් පලා ආ මෙම සිසුන්, තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළේ දැඩි සංවේගයෙනි.
“පොළොව දෙදරුම් කන හඬ අපට ඇසුණා, මුළු පොළොවම සෙලවෙනවා අපට දැනුණා,” යනුවෙන් ඔස්කාර් නියෙග්යෙමා (Oscar Nyegyema) නමැති ශිෂ්‍යයා AFP පුවත් සේවයට පවසා තිබේ. “අපිට ඇත්තටම හිතාගන්න බැරි වුණා ආපහු පණපිටින් එන්න ලැබෙයිද කියලා.”
ඉරානයේ සිටින උගන්ඩා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් බස් රථ මගින් තුර්කි දේශසීමාව දක්වා රැගෙන ආ මෙම සිසුන්, පසුව ඉස්තාන්බුල් හරහා ගුවන් මගින් උගන්ඩාවට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම යුද ගැටුම් සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මුළු මැදපෙරදිග කලාපයම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, විදේශීය සිසුන් සහ සංචාරකයන් ඉවත් කරගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.














