සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා (RAF) කඳවුරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍යය දැක්වූ ප්‍රතිචාරය විවේචනයට ලක්වීමත් සමඟ, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි මහතා සයිප්‍රසයේ සංචාරයක නිරත විය. එහිදී ඔහු සිය සයිප්‍රස් සගයා වන වාසිලිස් පල්මාස් (Vasilis Palmas) හමුවී දෙරටේ පොදු ආරක්ෂාව සහ ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.
පසුගිය ඉරිදා රාත්‍රියේ මෙම ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරවලින් පසු බ්‍රිතාන්‍ය රජය තොරතුරු හුවමාරු කරගත් ආකාරය පිළිබඳව සයිප්‍රස් බලධාරීන් සිය අප්‍රසාදය පළ කර තිබුණි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යය සතුව ප්‍රමාණවත් මිලිටරි සම්පත් පවතින්නේද යන්න පිළිබඳව විවේචන එල්ල විය. කෙසේ වෙතත්, ඩවුනිං වීදිය (Downing Street) එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කලාපීය ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මෙම ප්‍රහාර එල්ල වූයේ පසුගිය සෙනසුරාදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානය විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලින් දින කිහිපයකට පසුවය. මැදපෙරදිග ගැටුම් සයිප්‍රසය වැනි යුරෝපා කලාපයේ දොරටුවක් බඳු රටවලට ද ව්‍යාප්ත වීම ගෝලීය ආරක්ෂාවට එල්ල වූ බරපතළ අභියෝගයක් ලෙස සැලකේ.















