එංගලන්තයේ වෛද්‍යවරුන් ලබන සතියේ පැවැත්වීමට නියමිත දින හයක වැඩවර්ජනය අවලංගු කිරීම බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය (BMA) විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එරට රජය විසින් වෛද්‍යවරුන් සඳහා ලබාදීමට පොරොන්දු වූ නව පුහුණු රැකියා අවස්ථා 1,000ක පැකේජය ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
මෙම අමතර පුහුණු තනතුරු වෛද්‍යවරුන් සමඟ පවතින දිගුකාලීන වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳ අර්බුදය විසඳීම සඳහා රජය විසින් මේ වසර මුලදී යෝජනා කරන ලද පුළුල් සහන පැකේජයක කොටසක්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් විසින් පසුගිය අඟහරුවාදා සවස වෘත්තීය සමිති වෙත පැය 48ක කාලසීමාවක් ලබා දෙමින් කියා සිටියේ මෙම පුහුණු රැකියා අවස්ථා ලබා ගැනීමට නම් වෛද්‍යවරුන් සිය වර්ජන තීරණය අත්හැරිය යුතු බවයි.
කෙසේ වෙතත් වැටුප් සහ රැකියා හිඟය පිළිබඳව දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම නිසා වෛද්‍යවරුන් සිය වර්ජන තීරණය වෙනස් නොකිරීමට පියවර ගත්තා.
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වෛද්‍යවරුන්ට ඉතා වාසිදායක ගනුදෙනුවක් ලබා දී තිබුණද වැඩවර්ජනය නිසා ඇතිවන මෙහෙයුම් සහ මූල්‍යමය අවිනිශ්චිතතාවය හමුවේ මෙම වසර සඳහා අදාළ පුහුණු තනතුරු බඳවා ගැනීම් තවදුරටත් සිදු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නේවාසික වෛද්‍ය කමිටුවේ සභාපති වෛද්‍ය ජැක් ෆ්ලෙචර් ප්‍රකාශ කළේ රජයේ මෙම තීරණය අතිශයින්ම කණගාටුදායක බවයි.














