ඇමරිකා – ඉශ්‍රායල සහ ඉරාන යුද්ධය දෙවන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, බහරේනය වෙත එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් ‘ටයිෆූන්’ (Typhoon) ප්‍රහාරක යානා මෙහෙයුම් ආරම්භ කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. කටාර් වෙත යවා ඇති යානා හතරෙන් දෙකක්ම බහරේන ගුවන් සීමාව ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබේ.
බහරේන බලධාරීන්ට අනුව, ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඩ්‍රෝන යානා 190ක් සහ මිසයිල 114ක් ඔවුන්ගේ ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර ඇත. කෙසේ වෙතත්, පසුගියදා ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් එරට ගුවන් තොටුපොළේ ඉන්ධන ගබඩා ටැංකිවලට දැඩි හානි සිදු වූ අතර, මාර්තු 9 වනදා එල්ල වූ ප්‍රහාරයකින් කුඩා ළමුන් හතර දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 23 දෙනෙකු තුවාල ලැබීය. මෙය ගැටුම් ආරම්භයෙන් පසු ගල්ෆ් කලාපීය රටක සිවිල් වැසියන්ට සිදු වූ දරුණුතම බලපෑම ලෙස සැලකේ.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි මහතා ප්‍රකාශ කළේ පසුගිය දින 13 තුළ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් පැය 300කට අධික කාලයක් මැදපෙරදිග අහසේ මෙහෙයුම්වල නිරතව ඇති බවයි. බහරේනයට අමතරව ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල ගුවන් සීමාවන් ආරක්ෂා කිරීමට ද බ්‍රිතාන්‍යය සහාය ලබා දෙයි. එසේම, සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය ගුවන් කඳවුර ආරක්ෂා කිරීම සඳහා ‘HMS Dragon’ යුධ නෞකාව ද බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් විසින් ඇමරිකාවට බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට අවසර ලබා දී ඇත්තේ “ආරක්ෂක” (Defensive) කටයුතු සඳහා පමණක් වන අතර, ඉරානයට එරෙහි සෘජු ප්‍රහාරක මෙහෙයුම්වලට (Offensive) බ්‍රිතාන්‍යය සහභාගී නොවන බව ඔහු අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, විපක්ෂ නායක කෙමී බේඩෙනොක් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන වෙත සෘජු ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබා දෙන ලෙසයි.














